හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!

crisis of the rule of law in srilanka

පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද එක් කර ගනිමින් වාහන නලා ශබ්ද කරමින් ක්ෂණික විරෝධයක් ඇති කිරීමයි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වූ අතර එය ඉතා ඉක්මනින් අතිවිශාල ජනතාවක් වෙත සංසරණය විය.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු යහපාලන ආණ්ඩුවේ ප්‍රභූ රථ පෙළපාලි ගමන් කරද්දී මේ ආකාරයෙන් වාහන නතර කරද්දී ස්ථාන ගණනාවක මේ ආකාරයේම වාහන නලා ශබ්ද කරමින් විරෝධතා දැක්වීම් සිදු කරන ලදී. එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කියා සිටියේ ඒ මගින් පෙනෙන්නේ ආණ්ඩුවට මහජනයාගේ ඇති විරෝධය බවයි. රාජපක්ෂ මහතාගේ කතාව සත්‍යයක්. ඒ කාලයේ මෙන්ම මේ කාලයේත් මේ ආකාරයේ විරෝධතා වලින් පෙනෙන්නේ ආණ්ඩුවට ඇති විරෝධයයි.

වත්මන් ආණ්ඩුවට මේ ආකාරයේ හෝන් විරෝධයක් පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර මේ සිදුවීමෙන් ආණ්ඩුව බොහෝ සෙයින් කලබල වූ බවක් පෙනුණි. මේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවී සිටියහොත් ආණ්ඩුව නායකයන්ගේ රථ පෙළපාලිවලට ඉදිරි කාලය පුරාවටම හෝන් විරෝධතාවන්ට හසු වීමටත් ඉන් බරපතළ අපහසුතාවයකට පත් වීමට සිදු වනු ඇති බවත් ආණ්ඩුවට තේරුම් යන්නට ඇත. පසු දිනම ක්‍රියාත්මක වූ ආණ්ඩුව මෙම විරෝධය සංවිධානය කල තරුණයා අත්අඩංගුවට ගන්නා ලදී.

ආණ්ඩුවේ මෙම අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවට මෙම තරුණයා දඬුකඳේ ගැසීමට අවශ්‍ය නොවුනි. ආණ්ඩුවට අවශ්‍ය වුනේ මෙම තරුණයාට වඩා සමාජය බිය ගැන්වීමය. ආණ්ඩුව එහිදී සාර්ථකය. දැන් මේ රටේ සමාජය නැවතත් හෝන් විරෝධයක් දැක්වීම ගැන දෙවරක් හිතනු ඇත.

සමාජය බිය ගැන්වීම් පහසු කරන නීතියේ පාලනයේ අවුල

ලියුම්කරුගේ දැනීමේ හැටියට කිසිදු වැරැද්දක් නොකරන හෝන් විරෝධය සංවිධානය කල තරුණයා සම්පූර්ණයෙන් බියට පත් කිරීමට ආණ්ඩුව සමත් විය. එදා වීරයෙක් සේ ආන්ඩුවට අභියෝග කල තරුණයා නීතිය ක්‍රියාත්මක කිරීමට මහජනයා වෙනුවෙන් සකසා ඇතැයි කියන ආයතන ඉදිරියේ බිඳ වැටුනි. පොලීසිය විසින් එකී තරුණයාට එරෙහිව සිදු කල එම සුළු පරිමාණ ක්‍රියාවෙන් සමාජයම බියට පත් කිරීමට සමත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සුපුරුදු පරිදි බොලද තර්ක ගණනාවක් ඉදිරිපත් කරන ලදී. විදේශ රාජ්‍යතාන්ත්‍රික කතා, පොලිස් රාජකාරියට බාධා කරන කතා ගණනාවකි.මේ සියල්ල කිසිදු පදනමක් නැති කතා බව මේ සමාජයම දනී. මීට පෙරද මේ රටේ විදේශ නියෝජිතයන්ට එරෙහිව විරෝධතා සංවිධානය කල බවත්, පොලිස් රාජකාරියට එහිදී බාධාවක් සිදු නොවූ බවත්, මේ රටේ ජනතාවම දනී.

මේ සියළු කරුණු අතර ජනතාව දන්නා තවත් එක් වැදගත් කරුණක් ඇත. ඒ ලංකාව නම් රටේ නිස්කාරනේ නඩුවක පැටලීම යනු ‍බරපතල වේදනාවක් බවත් හදිසියෙන් හෝ රක්ෂිත බන්ධනාගාරගත වීම ඊටත් වඩා වේදනාවක් බවයි. හෝන් තරුණයා මෙන්ම සමාජයම බියට පත් වන්නේ මේ හේතුවෙනි. පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවද්දී ඕනෑම මිනිසෙකු බලන්නේ වරද පිළිගෙන දඩයකින් පමණක් මේ නඩුව අවසන් කර ගත හැකිද යන්නයි. තමන් වැරැද්ද සිදු නොකලද මිනිසුන් මේ ආකාරයට වරද පිළිගෙන නඩුව අවසන් කරන බව මහේස්ත්‍රාත් අධිකරණය පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම අයෙක් දනී. මිනිසුන්ට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් නඩු අවසන් කර ගැනීමටය. රථවාහන නඩු වල තත්වය හොදම උදාහරණයකි. සියළු දෙනාම වරද පිළිගෙන දඩයක් ගෙවා නඩුව අවසන් කර ගැනීමට කැමතිය. තමන් වැරැද්ද කලද නොකලද මිනිසුන් බලන්නේ නඩුව අවසන් කර ගැනීමටයි.

මහේස්ත්‍රාත් අධිකරණයන්ගේ ඇති අවම පහසුකම් තදබදය වැනි කාරණා නිසා සාක්ෂිකාරයන් පවා එම අධිකරණයන්ට යන්නේ අකමැත්තෙනි. අධිකරණයකින් වරදකරුවකු කරන තෙක් නිර්දෝෂියැයි පූර්ව නිගමනයක් තිබුණද අධිකරණයට යාමම දඩුවමක් ලෙස සමාජ මතයක් ගොඩ නැගී ඇත. නඩු ප්‍රමාදයද අධිකරණයන්ට ප්‍රවේශ වීම මිනිසුන් දඩුවමක් ලෙස සැලකීමට හේතු වෙයි. තමන් නිවැරදි කරු යැයි පවසා විභාගයට ගන්නා නඩුවක් අවසන් වන්නට සෑහෙන කලක් ගතවෙයි. නිස්කාරනේ දිග්ගැස්සුනු නඩුවක පැටලීමට මිනිසුන් අකමැති වීම ස්වභාවිකය.

තමන් පොලීසියට එරෙහි වෙමින් වරද සම්බන්ධයෙන් හබ කරන්නට ගොස් ඇප දීමට පොලීසිය විරුද්ධ වී හදිසියෙන් හෝ ඇප නොලැබුනහොත් රිමාන්ඩ් බන්ධනාගාරගත වුවහොත් තත්වය කුමක්ද? රිමාන්ඩ් බන්ධනාගාරයන්හි සිටින්නේ වැරදිකරුවන් නොව සැකකරුවන්ය. ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරයන්හි තත්වය ඉතාම කණගාටුදායකය. එයට යාම දඩුවමක් වින්දා හා සමානය. රථවාහන අනතුරකදී තමන්ගේ කිසිදු වැරැද්දක් නොමැතිව වෙනත් පුද්ගලයකු තම වාහනයේ ගැටී මරණයට පත් වුවහොත් ඇතැම් විට රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදු වෙයි. එය සිදු වන්නේ බොහෝ විට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති වනු ඇතැයි පොලීසිය විසින් සිදු කරන කරුණු දැක්වීම් නිසාය. මේ නිසාම බොහෝ මිනිසුන් තමන්ගේ කිසිදු වරදක් නොමැතිව සානුකම්පිත දීමනා ලෙස මිය ගිය අයට ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇප ලබා ගැනීමට උත්සහ කරයි. සැකකරුවකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට හෝ කිසිවකු කැමති නැත. ඊළගට ඔවුන් සිදු කරන්නේ වරද පිළිගෙන දඩයක් ගෙවා නඩුව අවසන් කිරීමයි. ඒ දිග්ගැස්සුනු නඩුවකට සම්බන්ධ වීම උසාවි යාමට කිසිවකු කැමති නැති නිසාය.

හෝන් තරුණයාට වරද පිළිගැනීමට සිදු වන්නේත් ලංකාවේ අධිකරණ පද්ධතිය වෙලා ගත් මේ තත්වය නිසාය. මෙය ලංකාවේ නීතියේ පාලනය පිළිබඳ බරපතළ අර්බුදයකි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් ගේ තත්වය හා නඩු ප්‍රමාදය හේතු කොට ගෙන නඩු කටයුත්තකට සම්බන්ධ වීම දඩුවමක් බවට පත් වී ඇත. හෝන් විරෝධය මතු කල තරුණයාට පොලීසිය හා ආණ්ඩුව සමග හැප්පෙනවාට වඩා වරද පිළිගෙන නඩුව අවසන් කරගෙන තමන්ගේ පාඩුවේ සිටීම යහපත් බව දැනෙන්නට ඇත. සමාජයත් මේ සම්බන්ධයෙන් බියට පත් වන්නේ ආණ්ඩුව සමග හැප්පනෙන්ට තියෙන බියකට නොව අනවශ්‍ය නඩුවක් පටලවා ගෙන කරදර විදීමට සිදු වන නිසාය. මර්දනයේ අවියක් ලෙස ආණ්ඩුව භාවිතා කරන්නේ නීතියේ පාලනයේ ඇති මේ අර්බුදයයි. මේ තත්වය ඉස්මතු කර මහජන සංවාදයක් ආරම්භ කිරීමට සමත් විපක්ෂයක් නැති නිසා ඒ සම්බන්ධයෙන් පුරවැසි සංවාදයක් ඇති කිරීමට නීති වෘත්තිකයන් ඇතුලු සිවිල් පුරවැසි කණ්ඩායම් මැදිහත් විය යුතුය.

-නීතිඥ දුලාන් දසනායක-

Social Sharing

Related posts