එදා ඡන්දය දාන්න ලංකාවට ආව රට විරුවන්, අද කරුමක්කාරයින්!

ලංකාවට දෙවැනියට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින්ය. වසරකට ඩොලර් බිලියන 07 කට ආසන්න ප්‍රමාණයක් මොවුන් විදේශ විනිමය ලංකාවට ගෙන ආහ. එවැනි මිනිසුන්ව අද වසරකට ආසන්න කාලයක් ඒ ඒ රටවල අසරණ වී සිටින්නේ සිය මව්බිමට පැමිණිමට නොහැකි වීමෙනි.

තමන්ගේ රැකියා කාලය අවසන් වී වලංගු වීසා කාලය ඉක්මවා ගොස් සිටින අය, කොවිඩ් වෛරසය හමුවේ රැකියා අහිමි වු අය, වැඩිදුර අධ්‍යාපනයට ගිය අය, රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගන්න ගිය අය, විසිට් වීසා ගිය අය, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ ගත වී සිටි අය මේ වන විට විදේශයේ සිර වී සිටියි.

මෙරට ගුවන්තොටුපලවල් යම් සීමාවකට විවෘත වූ පසු මෙරටින් භාණ්ඩ ගෙන ගිය ගුවන් යානා (කාගෝ ) වලින් 50 ක සීමාවකට පමණක් ලංකාවට පැමිණිමට හැකි විය. නැතහොත් ඒ ඒ රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සාදා ගත් සංවිධාන මඟින් විශේෂ ගුවන් යානා පිලියෙල කරගෙන (චාටඩ් ෆයිට්ඩ් ) පැමිණියහ. මෙය සිදු වුයේ අවශ්‍යතාවයට වඩා දේශපාලන ක්‍රියාවලියක් ඇතුලේ බව රට විරුවන් පවසා සිටියි.

රට විරුවා ගසා කෑම

එමෙන්ම මේ පැමිණිමේදීද විදෙස්ගත ලාංකිකයා ගසා කෑමට ලක් විය. පැමිණිමට නියමිත ගුවන් යානයේ එන්න සිදු වන්නේ ඒ ගෙන්වන නිලධාරීන්ගේ අභිමතය පරිදිය. එමෙන්ම ගුවන් ටිකට්පත් වලින් ගසා කෑමක් විය. රුපියල් 50,000 – 60,000 තිබු ගුවන් ටිකට්පත මේ අවස්ථාවේ රුපියල් ලක්ෂය ඉක්මවා ගියේය. එසේම ලංකාවට පැමිණි පසු මේ පිරිස ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ හෝටල් වල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරුණි. එය අනිවාර්ය කොන්දේසියක් විය. එමෙන්ම දෙපාරක් PCR කරන කොන්දේසියකට ගුවන් යානයට ගොඩ වීමට ප්‍රථම එකඟ වන්නට සිදු විය. අවසානයේ සිදු වුයේ රැපියල් 50,00- 60,000 මුදලකට ලංකාවට ඒමට තිබු අවස්ථාව වෙනුවට රැපියල් ලක්ෂ 4-5 ක් වියදම් කර පැමිණිමට සිදු විය.

දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීම මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශය එතෙර තානාපති කාර්යාල වල සිටි කම්කරු නිලධාරින්ව මෙරටට කැඳවු අතර එය රජය ගත් ඉතාම අදුරදර්ශි තීරණයක් විය. ගුවන්තොටුපළවල් විවෘත වු පසු මේ විදෙස්ගත ලංකිකයා සිය මව්බිමට පැමිණිය යුත්තේ රජය පනවන කොන්දේසි වලට යටත්වය.

එතෙර අපි සංවිධානය

එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට අතින් වියදම් කරගෙන මෙරටට ඡන්දය දාන්න ආපු අවස්ථාවේ මල් මාලා දා පිළිගත් රට විරුවන්ව  අද රාජපක්ෂ රජය සලකන්නේ කරුමක්කාරයන් හැටියට බවත් අද ඔවුන් මෙරට ඡන්ද දායකයින් නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, එතෙර අපි සංවිධානයේ සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

එමෙන්ම දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වුයේ යුක්රේන වෛරසයක් නිසා බව රජය නිල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සිටිදී ආණ්ඩුවේ උදයංග වීරතුංග විසින් යුක්රේන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනිම මොන තරම් අවධානමක්ද යන්න පෙන්වා දෙන සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ලාංකිකයාට වඩා ඔවුන් ගෙන්වා ගැනිම වැදගත් වන්නේ ඇයිද යන්න රටේ ජනතාව තේරුම් ගත යුතු බවය.

මේ විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දී ඇති නමුත් මොන රක්ෂණ ක්‍රමයකින්වත් මොවුන්ට ලංකාවට ඒමට සහනයක් ලැබී නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියි.

රජයේ ප්‍රකාශය

නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දරන්නේ වෙනස් මතයකි.  මේ රට විරුවා  ලංකාවට ගෙන්වා ගැනීම වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයක් ව රජය විශ්වාස කරයි.

ඒ නිසා ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

විදේශයන්හී අගුළු දැමීම්, හුදකලා කිරීම්, ඇඳිරි නීතිය සහ ගුවන් අවකාශය වසා දැමීම් මධ්‍යයේ වුවද විදේශයන්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය පෙරමුණ ගෙන සිටින බවද, මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 68000 ක් පමණ පොරොත්තු ලේඛනගතව සිටින බවද කොළඹගේ මහතා පෙන්වා දෙයි.

2020 පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු සියරට ගෙන්වා ගන්නා ලද දින සිට, මෙම අමාත්‍යාංශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්, සංක්‍රමණික ශ්‍රමිකයින්, කෙටිකාලීන සංචාරකයන්, මුහුදු යාත්‍රිකයන් සහ සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 60,470 කි. විදේශ අමාත්‍යංශය හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා මොවුන් ගෙන්වා ගෙන ඇත්තේ රටවල් 137 ක සිටය.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්‍රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගන්නා ලදී. විදේශයන්හි තත්ත්වයන් පිරිහී යාමත්, සේවයෙන් ඉවත් කිරීම් සහ වෙනත් අකාරවලින් රැකියා අහිමි වීමත් හේතුවෙන් නැවත සියරට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දැනට විවිධ කලාපවල සිටින විදේශීය ශ්‍රී ලාංකිකයන් 68,000 ක් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් පොරොත්තු ලේඛනගත කර ඇත.

2021 ජනවාරි 02 සිට 09 දක්වා කාලය තුළ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නවතම සති දෙකක කාලසටහනට චෙන්නායි, මෙල්බර්න්, කුවේට්, දෝහා, ටොරොන්ටෝ, සයිප්‍රසය සහ ඩුබායි සිට මගීන් 1,400 දෙනෙක් ඇතුළත් වන බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000 කට අධික ප්‍රමාණයක් ගුවනින් යැවූ අතර, විදේශයන්හි අපගේ ප්‍රජාවන්ගේ සුබසාධනය උදෙසා මේ වන විට රුපියල් මිලියන 80 ක් පමණ වැය කොට ඇත. මූලික ඖෂධ, පරීක්ෂණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය සහ සමහර අවස්ථාවල දී ගුවන් ටිකට් පත් සැපයීම ද මෙම අරමුදල්වල අරමුණ විය.

Social Sharing
නවතම විශේෂාංග