චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!

කොවිෂිල්ඩ් එන්නත මෙරටට ප්‍රථමවරට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. එදා සිට මේ දක්වාම රජය විසින් අදියර කිහිපයක් යටතේ මේ එන්නත ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ආදි සේවයේ නියුතු පිරිස් වෙත ලබා දෙමින් ඇත. මේ වන විට කොවිෂීල්ඩ් එන්නත, 180,000ක පමණ සංඛ්‍යාවකට ලබා දී අවසන්‍ ය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී ස්‍රදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ ලබන මස මුල් සතියේ සිට සාමාන්‍ය ජනතාවටද මේ කොවිඩ් එන්නත ලබා දිමට කටයුතු කරන බවය.

මේ එන්නත දෛනිකව ලක්ෂ 6 කට ලබා දීම අපෙක්ෂා කරන අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ එක් මාත්‍රාවකින් වෛරය පැතිරීමේ හැකියාව 67% කින් පමණ අඩු වන බවට තොරතුරු ලැබී ඇතැයිද අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම එන්නත් කරණයත් සමඟ රටේ ආසාදිතයින් අඩුවන විට PCR හා ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව අඩුකළ හැකි වෙතැයිද ඇයගේ විශ්වාසය වේ.

මේ එන්නත්කරණයත් සමඟ මේ වන විට ගැටළුවක් මතුව ඇත. ඒ මේ එන්නතෙන් යම් කිසි ප්‍රමාණයක් අපතේ යාමය.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අංශ මේ වන විට කථා කිරීමට පටන් ගෙන ඇත. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාවත්කාලීන නොවූ චක්‍ර ලේඛ හේතුවෙන් මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් 40,000කට ආසන්න ප්‍රමාණයක් අපතේ දැමීමට සිදුව ඇති බවයි.

Ravi Kumudesha

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව එම එන්නත් කුප්පියක්, භාවිත කළ හැකි වන්නේ දස දෙනෙකුට පමණක් වන අතර දස වැන්නාගෙන් පසුව ඉතිරි වන ප්‍රමාණය ඉවත දැමිය යුතුය.

එක් පුද්ගලයෙකු සදහා 0.5ml ප්‍රමාණයක එන්නත් ලබා දිය යුතු අතර දස දෙනෙකු සදහා එය 5ml වේ.

නමුත් එන්නත් කුප්පියක ඊට වැඩි ප්‍රමාණයක් එන්නත් අඩංගු බැවින්, ඉතා කාර්යක්ෂම කටයුතු කරන්නේනම් තවත් එක් අයෙකු (එකොලොස් වැනියා) සදහා එම ප්‍රමාණය සලකා බැලීමට හැකි බව නිරීක්ෂණය වී ඇති බව රවී කුමුදේශ් මහතා පවසයි.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේකයට පිටින් කටයුතු කිරීමට නොහැකි බැවින් එම ප්‍රමාණය ඉවත දැමීමට සිදුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

වාර්තා වන මේ  තොරතුරු නිවැරදිනම්, මෙරට මේ වනවිට නාස්තියට ලක්ව ඇති එන්නත් ප්‍රමාණය 40,000 කට ආසන්න විය හැකි අතර, නාස්තියේ අනුපාතය ලබාදෙන එන්නත් ප්‍රමාණයෙන් 5:1කි. මුලු ලෝකයටම එන්නත් හිගයක් පවතින මොහොතක, එසේ වුවහොත් එය ජාතික අපරාධයකටත් වඩා, ලෝක අපරාධයක් බව අවධාරණය කරන ඔහු පෙන්වා දෙන්නේ  ගණනය කිරීම් වලට හසු නොවන පරිදි එන්නත් ප්‍රමාණයක් පැවතීම දූෂිත තත්වයක් ඇතිවීමටද පාර කපන බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල තත්වයන් සොයා බලා, බිම් මට්ටමේ සෞඛ්‍ය කාර්‍ය මණඩලය බලාතමක වන පරිදි අදාල චක්‍රලේඛය සහ ගණන් තබා ගන්නා ක්‍රමය වහා සංශෝධනය කල යුතු බවය.

එමෙන්ම මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව වාර්ථා වී ඇති බැවින්, එන්නත අල්ලස  සදහා පාර කැපීම වැලැක්වීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශ නීතී ප්‍රායෝගික විය යුතු බව ඔහු කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම