කොවිඩ් එන්නත මන්ත්‍රීවරුන්ට පෙර හෝටල් සේවකයින්ට දෙන්න!

විදෙස් සංචාරකයින්ට මෙතෙක් පනවා තිබු දැඩි සෞඛ්‍ය කොන්දේසි ලිහිල් කිරීමට රජය පහුගියදා තීරණය කර තිබුනේ වැඩි වැඩියෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමිනි. එමෙන්ම අද (18) සිට මෙතෙක් බ්‍රිතාන්‍යට පනවා තිබු ගමන් තහනමද ලංකාව ඉවත් කර ඇත. ඒ් අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍ය සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණෙනු ඇත.

මේ අතර අද මව්බිම පුවත්පත වාර්තා කර තිබුණේ ඇස්ට්‍රාසෙනෙකාවලටවත් ඔරොත්තු නොදෙන දකුණු අප්‍රිකාවේ නව ප්‍රභේදය බ්‍රිතාන්‍යට ඇතුලු වී ඇති බවය. ඒ් අනුව ඉදිරියේදී ඒ් වෛරසයද ලංකාවට පැමිණීමේ අවදානමක් ඇති බව මෙහිදි අපට නොතකා හැරිය නොහැක.

විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේදී ඔවුන් නවාතැන් ගන්නේ සුපිරි හෝටල් වලය. මෙහිදී යම් ආසාදිතයෙක් සිටියහොත් එය හෝටල් සේවකයින්ටද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත. මීට පෙරද කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ සීදුව හෝටලයක නිරෝධායනය වෙමින් සිටි යුක්‍රේන ජාතික පිරිසකගෙන් එහි හෝටල් සේවකයින්ට ආසාදනය වීමෙන් බව පහුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ විය. ඒ් නිසා මෙම කාරණාවේදී වැඩියෙන්ම අවධානමට පත් වෙන පිරිස බවට පත්ව ඇත්තේ හෝටල් කාර්ය මණ්ඩලය වේ.

අන්තර් සේවක සංගමයේ – හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතා පවසන ආකාරයට මේ වන විට මුලු රටේම හෝටල් රැකියාවේ සෘජුය යෙදෙන්නන් ලක්ෂ දෙකක් පමණ සිටින අතර වක්‍රව හෝටල් රැකියාවේ යෙදෙන අය ලක්ෂ තුනක් පමණ සිටියි. මේ වන විට හෝටල් සේවකයින් දින 14 ක් වැඩ කර තවත් දින 14 ක් හෝටලය තුල නිරෝධායනය විය යුතුව ඇත. මෙහිදි ඒ් නිරෝධායන කාල සීමාවට ඔවුන්ට වැටුප් ලැබෙන්නේ නැතැයිද පැවසේ. මීට පෙර මේ සම්බන්ධව උද්ඝෝෂණ, විරෝධතා සිදු කළද ඔවුන්ට නිසි සහනයක් ලැබුණේ නැත.

සභාපතිවරයා පවසන්නේ ඇතැම් විදෙස් සංචාරකයින් හැසිරෙන්නේ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයකට නොවන බවය. ඔවුන් කිසිදු නිර්දේශයකට යටත් නොවී නිදහසේ හැසිරෙමින් කටයුතු කිරීම තුල අපහසුතාවයට පත් වෙන්නේ හෝටල් සේවකයින්ය. මේබව ඉහළ බලධාරින් වටහා ගත යුතුව ඇත.

කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත මේ වන විට අදියර කිහිපයක් යටතේ ජනතාවට ලබා දෙමින් ඇත්තේය. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල සේවකයින්ගෙන් පසුව මේ වන විට ප්‍රමුඛතාවය දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා බන්ධනාගාර නිලධාරීන්ටය.  නමුත් හෝටල් සේවක මධ්‍යස්ථානය – අන්තර් සමාගම් සේවක සංගමය ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර හොටල් සේවකයින්ට මුල් තැන දෙන ලෙසය.

හෝටල් සේවක මධ්‍යස්ථානය-අන්තර් සමාගම් සේවක සංගමය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ලිපියක් යවමින් මේ බව ඉල්ලා ඇත. මේ ලිපිය යවා ඇත්තේ අන්තර් සේවක සංගමයේ – හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි මහතාගේ අත්සනින් යුතුවය.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ  සංචාරක කර්මාන්තයට සම්බන්ධ සේවක ප්‍රජාව ඍජුව සංචාරකයන් සමඟ ගැටෙන තත්වය වැඩිවන බැවින් ඔවුන් අනතුරට මුහුණදෙන ප්‍රමුඛ සමාජ කණ්ඩායමක් බවට පත්ව ඇති බැවින්  සංචාරක අමාත්‍යාංශය නිවේදන කර ඇත්තේ සංචාරකයන් ලෙස පැමිණෙන ළමුන්ගේ (අවු. 12ට අඩු) PCR පරීක්‍ෂණ ද නොකිරීමට තීරණය කර ඇති බවය.

මේ හේතුවෙන් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය දී කොවිඩ් 19 සඳහා එන්නත ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබීම කණගාටුදායක තත්වයක් බව පෙන්වා දෙන එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ  එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොව, සංචාරක කර්මාන්තයේ සේවකයන් එන්නත ලබාදීමේදී ප්‍රමුඛ සමාජ කණ්ඩායමක් ලෙස තෝරාගන්නා ලෙසය.

Covid vaccine in sri lanka hotels staff

ශානි

Social Sharing
නවතම