බලෙන් දෙන්නේ නැහැ, කැමති අය විද ගන්න – ලලිත් වීරතුංග

කොවිඩ් එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් වන අතර එය බලෙන් එන්නත් නොකරණ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඔහු පවසන්නේ එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව තෝරාගනු ලබන්නේ ජාතික මැතිවරණ කොමිසමේ නාම ලේඛනය යොදාගෙන බවය. නමුත් එම ලේඛන වල නම් සඳහන් නොවන “Resident visa holders” ගැන මේ අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති නමුත් ඔවුන් පිළිබඳව කඩිනම් තීරණයකට පැමිණෙන බවය.

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා “කොවිෂීල්ඩ්” එන්නත් මාත්‍රා 500,000ක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. එම එන්නත් තොගය හෙට (28) දහවල් ඉන්දියන් ගුවන් යානක් මඟින් මෙරටට ගෙන ඒමට  නියමිතය.

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ට, කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන්ය.  පළමු මාත්‍රාව ලබාදී සති 3කට පසු දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු කෙරේ.

අනෙක් අය සඳහා අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා ද මේ වනවිට කටයුතු කරමින් සිටින බව පැවසූ වීරතුංග මහතා, සියලුදෙනාට ම එන්නත් ලබාදෙනු ලබන්නේ නොමිලයේ බව ද කීය.

එහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ය. මෙම එන්නත ලබා දිමේදී ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් අත්සනක්ද ලබා ගන්නා බව ලලිත් වීරතුංග මහතා පවසයි.

Social Sharing
නවතම