මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?

ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය

‘ මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ‘ කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය කරන මගේ වෛද්‍ය මිත්‍රයෙක් අද (28) හවස මාව ඇමතුවේ ය. ඔහුගේ කතාව සමග කොවිඩ් වර්තමානය ගැන ටිකක් සොයන්නට හිතුනි. (ඇත්තටම අපි තමයි හොඳටම කළේ පන්නයේ ආණ්ඩු පුරාජේරු නිසා අපි සිටියේ ඔව් වැඩේ හොඳටම කර ඇතැයි යන විශ්වාසයෙන් ය. එනිසා හෙව්වේ බැලුවේ නැත) අද සමස්ත කොරෝනා ආසාදිතයන් 1,451ක් වාර්තාවූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ කොරෝනා මරණ 6 ක් සමගින් ය. සතියකට කොරෝනා රෝගීන් හමුවීමේ සාමාන්‍ය 859ක් පමණ වෙනබව වාර්තා වෙයි. මේ ලිපිය ලියන 28 දා රාත්‍රී 11 පමණ වෙනවිට මුලු ආසාධිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 104,953ක් ලෙසය, එයින් 95,083ක් සුවය ලබා ඇතිබවද වාර්තා වෙයි. මේ වෙනවිට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 661දක්වා ඉහළ ගොස් තිබෙන බව ආණ්ඩුවේ නිළ සංඛ්‍යා ලේඛන කියයි. මේ නිළ සංඛ්‍යාව බව අප අමතක නොකළ යුතුය. පසුගිය කාලයේ එහෙමට කියා PCR පරීක්ෂණ නොකළ බව අපි මෙහිදී සිහිතබා ගතයුතුය. දැන් ගිනිපුග්ගාය හැදී නැවත කරන නිසා රෝගීන් හමුවෙමින් තිබෙයි. සවුක්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට අනුව පසුගිය 26 වෙනිදා PCR පරීක්ෂණ 13965ක් කර ඇත. එම මූලාශ්‍රය සඳහන් කරන පරිදි දැනට රෝහල් තුළ රෝගීන් 6158 දෙනෙක් ප්‍රථිකාර ලබයි. ප්‍රශ්නය තිබෙන්නේ මෙතනය..

රෝහල්වල තත්ත්වය

නිදහස ලබා අවුරුදු 72ක් බව අපි කියන්නේ උජාරුවෙන් ය. ලෝකයේ හොඳම සවුඛ්‍ය සේවය තිබෙන්නේ අපිට බව කියන්නේද අපිමය. එහෙත් අපිට ICU ඇඳන් කොපමණ තිබෙයිද? අපට තවමත් තිබෙන්නේ ඇඳන් 510ක් වැනි ප්‍රමානයක් ය. සමහරුන් අයිසීයූ ඇඳන් 710ක් ඇති බව කියයි. මේ ගණන් දෙක මොක වුණත් අපිට අයිසීයූ ඇඳන් 800ක් නැති බව වඟකීමෙන් කිවහැකිය. කොරෝනා වසංගතය පැමිණ මේ ගෙවෙන්නේ කීවෙනි දවස ද? කොරෝනා මර්දනය සඳහා අපි අරමුදල් ද ඇති කරගත්තෙමු, නමුත් කියන්න ලැජ්ජයි ICU ඇඳන් 1000ක් කරගන්නට බැරිවී ඇත. විමල් වීරවංශ කීවේ දේශීයව නිපදවන බවය. එහෙත් අන්තිමට ඔහු හැදුවේ කුරුඳු බීඩියක් පමණය. අයිසීයූ ඇඳක් ලංකාවේ නිපදවනවා නම් වියදම රුපියල් ලක්ෂ 3ක් පමණ යන බව පැවසේ. එය පිටරටකින් ආනයනය කරනවානම් එක ඇඳකට රුපියල් 650000ක පමණ මුදලක් වැය වේ. VIP වාහන 40000ක් තිබෙන රටේ ICU ඇඳන් 1000ක් නැති බව සමාජ මාධ්‍ය සඳහන් කරයි. එහි සත්‍ය කෙසේ වෙතත් සීනී බදු වංචාවෙන් ඇඳන් කීයක් ගත හැකිව තිබුණාද? කල්පනා කළ යුතුය. මත්තල ගුවන් තොටුපොළ හදන වියදමෙන් ICU ඇඳන් කීයක් පිටරටකින් ආනයනය කරන්න තිබුණාද? සිතන්නට කාලය පැමිණ ඇත. මාරයාගේ සෙවනැල්ල හැමතැනමය. රෝහල් තුළ කොපමණ ICU ඇඳන් තිබුණත් ඒ සියල්ල කොරෝනා රෝගීන් සඳහා වෙන් කරන්නට බැරිය. රෝහල් ආරංචි මාර්ග කියන විදිහට දැනට කොරෝනා රෝගීන් සඳහා ICU ඇඳන් 114ක් පමණ වෙන්වී ඇත. ඒ කොරෝනා සඳහා වෙන්කළ රෝහල් තුළ සහ වාට්ටු තුළය. දැනගන්නට තිබෙන විදිහට දැන් මෙම කොරෝනා රෝගීන්ට ඉඩ සලසන රෝහල් ස්ථානවල ධාරිතාවය උපරීමයට ලගාවී ඇත. ඒ අනුව සවුඛ්‍ය අංශ කියන විදිහටනම් තත්ත්වය හොඳටම බරපතළය. අවිස්සාවේල්ල රෝහලේ කොවිඩ් රෝගියෙක් දැනට දවස් දෙකක් සිටින්නේ යන්නට කොවිඩ් සඳහා වෙන්වූ රෝහලක් නැති නිසා ය. කොළඹ කාසල් රෝහලේ හෙද නිළධාරිනියක් ආසාධිත තත්ත්වයෙන් දින දෙකක් සිටින්නේ යන්න තැනක් නැතුවය. ඒ කොරෝනා රෝගීන් සඳහා වෙන්කළ රෝහල් තුළ ඉඩ දැනටත් සීමිත වී ඇති නිසාය. මෙහෙම තව දුරටත් ගියහොත් කොරෝනා රෝගීන්ද සාමාන්‍ය රෝගීන් අතර හිඳවන්නට සිදුවනු ඇත. එවිට තත්ත්වය පාලනය කරගන්නට නොහැකි සීමාවට ළඟාවී තිබෙන්නට පුලුවන් ය.

ඔක්සිජන් තත්ත්වය

දැනට ඔක්සිජන් හිඟයක් නැති බව දැනගන්නට ඇත, එහෙත් ඔක්සිජන් සපයන ආයතන දෙක පවසා ඇත්තේ තමන් දැනට සපයන ප්‍රමානයට වඩා තුන්ගුණයක් දක්වා පමණක් තමන්ට ඔක්සිජන් සැපයිය හැකි බවය. රෝහල්වල වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ එන්න එන්නම අවශ්‍ය කරණ ඔක්සිජන් පරිමාව ඉහළ යමින් තිබෙන බවය. එනිසා රජය දැන්ම ඔක්සිජන් ගැන සිත යොමුකළ යුතුය. විමල් වීරවංශ ජාතියේ පංචායුදය අයිසීයූ ඇඳන් හදන්නැහේ සිටියොත් අපි සැමගේ හුස්ම හිරවෙන දවස වැඩි ඈතක නැත. හෝමාගම රෝහල් ආරංචි මාර්ගවලට අනුව ICU සිටින රෝගීන් 13 දෙනෙකුගෙන් 9 දෙනෙකුටම මේවනවිට ඔක්සිජන් සපයමින් සිටියි. දැනට හෝමාගම කොරෝනා රෝහල තුළ කොරෝනා රෝගීන් 190ක් පමණ සිටින බව වාර්තා වෙයි. අවුරුදු 35 පුද්ගලයෙක් පසුගිය දා මියගියේද හෝමාගම රෝහල තුළදී ය. මේවනවිට හෙද නිළධාරීන් 19 දෙනෙකුට කොරෝනා බව දැනගන්නට ලැබේ. මෙයින් පෙනෙන්නේ රෝහල් කාර්‍ය මණ්ඩලයට රෝගය පැතිරයෑමද ආරම්භවී ඇති බවය. මේ පිළිබඳව ද ආණ්ඩුව තමන්ගේ සැලකිල්ල යොමුකළ යුතුය.

UK ප්‍රබේදය

අද සෞඛ්‍ය අංශ මහා හඬින් කෑගසා පවසන මේ බ්‍රිතාන්‍ය ප්‍රබේදය පසුගිය අප්‍රේල් 8 වෙනිදා පමණ වෙනවිට ලංකාවට පැමිණ තිබුණ බව සෞඛ්‍ය අංශ දැන සිට ඇත. ඒ බොරලැස්ගමුව ප්‍රදේශයෙන් දින දෙකක් වැනි කෙටි කාලයකින් විශාල රෝගීන් සංඛ්‍යාවක් සොයාගැනීම නිසා ය. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය අංශ රජය සහ ප්‍රාදේශීය සවුක්‍ය බලධාරීන් දැනුවත් කර ඇත. බොරලැස්ගමුව ප්‍රදේශයට මෙම රෝගය පැමිණ ඇත්තේ එක්සත් රාජධානිය තුළ ජීවත්වූ විශ්ව විද්‍යාල කතිකාචාර්‍යවරයෙක් එහි සිට පැමිණ ඇති නිසා බව මහජන සවුක්‍ය පරීක්ෂණ අංශ සැකකරයි. මෙම ප්‍රබේදය බොහොම ශීඝ්‍රයෙන් පැතිරීම සහ එහි තිබෙන බයානකකම ගැන දන්නා සවුක්‍ය අංශ ඒ පිළිබඳව සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම කටයුතු නොකළේ ඇයි? ප්‍රශ්නාර්ථයක් ය. අඩුම ආණ්ඩුවට සිංහල අලුත් අවුරුද්ද ගතකළ යුත්තේ කෙසේද කියා උපදෙස් මාලාවක් හෝ ජනතාවට නිකුත් කරන්නට තිබුණි. නමුත් ආණ්ඩුව මේ කිසිදෙයක් සැලකිල්ලට නොගෙන වල්බූරු ලෙස කටයුතු කිරීම නිසා සිංහල අලුත් අවුරුදු සමයේ කොරෝනා තවාන් හැමතැනකම තිබුණි. සිංහල අලුත් අවුරුදු සමයේ වගකිව යුතු ආණ්ඩුවක් කටයුතු කරන ආකාරයට ඇයි කටයුතු නොකළේ කියා ආණ්ඩුවෙන් ඇසූවිට එහි මුදුනෝ කියන්නේ තමන් ගි‍ය අවුරුද්දත් කන්න ලැබුණේ නැති නිසා ඒ අවස්ථාව ජනතාවට දුන් බවය. තවත් අයෙක් කියන්නේ ජනතාවට අලුත් අවුරුදු සමයේ බුද්ධියෙන් කටයුතු කරන්නට තිබුණ බවය. මේවා අහන අපිට ආණ්ඩුවෙන් අහන්නට වෙන්නේ මේවා කියන්න නම් ආණ්ඩුවක් මොකටද කියාය.

විසඳුම ලොක්ඩවුන් කිරීම විතරයි

අද කොරෝනා රෝගීන්ගේ වාර්ථාවීම 1500කට ආසන්නය. ඒ අනුව 5000කට පමණ කොරෝනා බව උපකල්පනය කළ හැකිය. දවසකට ආසාධිතයන් 5000ක්  ආසාධිත රැල්ලට අලුතින් එකතුවෙනවා කියන්නේ සෙල්ලමක් නොවෙන බව අප දැනගත යුතුය. අපි මොකද්ද දැන් කරන්න ඕනෑ? වෛද්‍යවරයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ අඩුම ගිය සති අන්තයේ සිට රට වසා දැමිය යුතුව තිබූ බවය, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනටත් අප ප්‍රමාද බවය. මේ පිළිබඳව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානී සමන් රත්නප්‍රිය මහතාගෙන් කරුණු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, අඩුම මීළඟ සති අන්තය හෝ ලොක්ඩවුන් කර PCR ප්‍රමානය දිනකට 50000ක්වත් කර ආසාධිතයන් සොයාගතහොත් යම් සහනයක් උදාකරගත හැකි බවය. මේ පිළිබඳව සහ තවත් කරුණු ගැන සඳහන් කරමින් වහාම ක්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත යොමුකළ බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ICU ඇඳන් ප්‍රමානය දෙගුණයකින් වැඩි කිරීම, රෝහල් කාර්‍ය මණ්ඩලයට රෝගය බෝනොකරගෙන රාජකාරී කිරීම සඳහා වටපිටාවක් රෝහල් තුළ නිර්මානය කරගැනීම, ඒ සඳහා උපකරණ ලබාදීම, නවාතැන් පහසුමකම්, නිරෝධායන පහසුකම් ආදිය වැඩිදියුනු කිරීම පිළිබඳවද එහි යෝජනා අන්තර්ගත බව දැනගන්නට ඇත. සවුඛ්‍ය අංශයේ බොහෝ දෙනෙක් කියන ලෙස ලොක්ඩවුන් කරන්නට තිබුනේ සිංහල අලුත් අවුරුදු සමයේදී ය. එහෙත් අපි තමයි හොඳටම කළේ කියන රජය එය කරන්නට හෝ අවම ජනතාවට උපදෙසක් දෙන්නට හෝ කල්පනා කළේ නැත. දැන් එහි ප්‍රථිපල ලැබෙන සමයයි. මේ අවස්ථාවේ හෝ රට තාවකාලිකව වසා යුහුසුළුව රෝගීන් සහ ආශ්‍රිතයන් ටික සොයාගතහොත් ඉන්දියාව දෙසට නොයා අපිට මගින් හැරී පැමිණිය හැකිය. මිනී කනත්තට යනවාද නැත්තං ඊට ටිකක් මෙහායින් නතරවෙනවාද යන්න තීරණය කිරීම රජයේ ඉදිරියේ ඇත.

– කේ. සංජීව –

Social Sharing
නවතම විශේෂාංග