රෑ 12න් පස්සේ තමයි වැඩිපුර ඔන්ලයින් පන්ති තියෙන්නේ

covid situation of online education in sri lanka

ගුරු උපදේශිකා රේණුකා පද්මිණී

නයිට් ටයිම් ඩේටා සාමාන්‍යයෙන් හම්බෙන්නේ රාත්‍රි 12 සිට උදැසන 8 දක්වා කාලය තුළයි. ඒ වගේම බෝනස් ඩේටා ලැබෙනවා. මේ වන විට අපිට අහන්න ලැබෙනවා, මෙම පැකේජ් වලට තමයි ළමයි හුරු වෙලා තියෙන්නෙ ඔන්ලයින් අධ්‍යාපනයේදී, ඒක කොයිතරම් දුරට සත්‍යයක්ද? රෑ 12ට ටියුශන් පංතියකට සම්බන්ධ වුනාම මේවා අවසන් වෙද්දි පාන්දර 3 -4 වෙනවා. ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ?

මගේ අත්දැකීම අනුව මම සිතන්නේ මෙහෙමයි. දරුවන්ගේ පැත්තෙනුත් දරුවන්ට ප්‍රශ්ණ තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙද්දි ඩේටා විශාල ප්‍රමාණයෙන් වැය වෙනවා. එවිට දරුවන් හා ගුරුවරුන් යන දෙගොල්ලන්ටම මෙම ගැටලුව තියෙනවා. ඩේටා පැකේජ්වල නයිට් ටයිම් ඩේටා ඉතුරු වෙන හින්දා රාත්‍රී කාලයේ පන්ති පවත්වනවා. ඒක සත්‍යක්. මේ ආකාරයට උපකාරක පන්තිවලට සම්බන්ධ වන මගේ ඥාති දරුවොත් ඉන්නවා. මෙහි දෙපැත්තක් මම දකිනවා. අඩු ආදයම්ලාභී පවුල්වල දරුවන්ට මෙම ලැබෙන ෆ්‍රී ඩේටා වලින් ප්‍රයෝජනයක් ගත හැකි නම් එය වටිනවා. බොහෝ විට දරුවෝ රාත්‍රියේ සම්බන්ධ වන්නේ ඔන්ලයින් ටියුශන් පන්ති සඳහා. ඉන් පසු උදෑසන සිට දහවල් කාලය දක්වා පාසලෙන් පවත්වනු ලබන පන්තිවලට සම්බන්ධ වෙනවා. එතකොට දරුවෝ කියන දේවල් සහ ගුරුවරු කියන දේවල් එක්ක මට මේක සාර්ථක ක්‍රමයක් කියලා පිළිගන්න බැහැ. දරුවන්ට පාඩම් කරන්න පුලුවන් ධාරිතාවයක් තියනවා. දවස පුරාම ඔවුන් මේවා කරනවා කියන්නේ ඒක ඔවුන්ට ලොකු පීඩනයක්. මම දුටුවා මේ මෑතක වෛද්‍යවරයෙක් කියනවා ළමයි මේ ආකාරයෙන් පරිඝනක හා ජංගම දුරකථන භාවිතය වැඩි වීම නිසා දෘෂ්ටි ආබාධ වලට ලක් වෙනවා කියලා. පාඩම් කටයුතු සහ මේ ආකාරයට ඔන්ලයින් පන්තිවලට අඛණ්ඩව සම්බන්ධ වීම දරුවන්ට අධික පීඩනයක් ගෙනදෙනවා. රෑ එළි වෙනකන් ඉගැන්වීම් කරන්න පුළුවන්. දරුවනුත් සහභාගී වෙයි කාගේ හරි කටේ බලේට. නමුත් මේ ක්‍රමය සාර්ථකයි කියලා කියන්න අමාරුයි. හේතුව තමයි දැන් මට මෑතකාලීනව, මගේ අත්දැකීමක් කියන්න පුළුවන්. මම මේ පිළිබඳව සොයා බැලුවා. එතකොට මට හිතවත් ගුරුවරුයෙක් කියපු සිද්ධියක්. එක දරුවෙක් දිවා – රාත්‍රි සීමා රහිතව ඔන්ලයින් පංති වලට සම්බන්ධ වෙලා. එක් දිනක් එම දරුවා ෆිට් එක හැදිලා හොදටම අසනීප වෙලා. ඉන් පසු ඒ දරුවාව රෝහල් ගතකරලා තමයි ගොඩ අරන් තියෙන්නේ.

මෙම ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීමේ හොද පැත්තකුත් තියෙනවා. රටේ පවතින තත්වය තුළ මෙම ක්‍රමය හොඳයි. නමුත් අසීමාන්තිකව පාඩම් කටයුතු සිදු කිරීම වෙනම පීඩනයක් වෙලා තියනවා දරුවන්ට. මෙයට නිසි ක්‍රමවේදයක් හැදෙන්න අවශ්‍යයි. දැන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය ඇතුලේ තව ගොඩාක් පැති තියනවා. ඩේටා, පරිඝනක හා දුරකථන තියන දරුවෝ සහා ගුරුවරු පහසුකම් එක්ක මේ වැඩේ හොදටම කරගෙන යනවා. නමුත් ඒවා නොමැති දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් පවා ඉන්නවා අපේ රටේ. එතකොට දැන් එයාලගේ පැත්තෙන් සෑහෙන අඩුවක් තියනවා. මම දැක්කා එක ආර්ටිකල් එකක් විදුහල්පතිවරයෙක් කියල තියනවා එයාලට මේ විදිහට ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන යන්න කිසිම පහසුකමක් නැහැ කියලා. අපි මේ විදියට කරාට ඔන්ලයින් අධ්‍යාපනය ඔස්සේ දරුවෙකුට පාඩමක් කරන්න එවැනි පහසුකම් කිසිම දෙයක් නැති පිරිසක් ඉන්නවා. එවැනි විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි කියලා කතාබහ කලාට අපි නොදන්න පැතිවල විශේෂ ගැටලු තියෙනවා. මගේ අත්දැකීම් අනුව අපි උගන්වන අවස්ථාවේ දරුවන්ගේ ප්‍රතිචාර ගැනීම හරිම අසාර්ථකයි. ඒක අපිට නිවැරදියි කියන්න බැහැ. පන්ති කාමරයේ සජීවී ඉගෙනුම තරම් සාර්ථක කර ගන්න අමාරුයි දරුවව. ඩේටා ප්‍රශ්න නිසා ගොඩක් දරුවෝ වීඩියෝ අක්‍රීය කරනවා. හඬත් (audio) අක්‍රීය කරනවා බොහෝ වෙලාවට. බොහෝ ගුරුවරු කියන දෙයක් තමයි අපි දන්නේ නැහැ දරුවෝ පාඩමේ ඉන්නවාද, නැද්ද කියලා. එතකොට පන්ති කාමරයක උගන්වනවා වගේ මේ දරුවන්ගේ සක්‍රීය දායකත්වය ඇත්තටම ලැබෙනවද කියලා ප්‍රශ්නයක්. ඒ කියන්නේ එක පන්ති කාමරයක ළමයින් 45ක් පමණ ඉන්නවනම් පාසල් ගුරුවරුන්ගේ ඔන්ලයින් පාඩම්වලදී පවා පැමිණෙන්නෙ ළමයි 10ක් 20ක්. එතකොට අනිත් ළමයින්ට මොකද වෙන්නේ? ඒක විශාල ගැටලුවක්.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූවා, එතකොට දරුවන්ට අවුරුද්දක පමණ කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වුණා. ඒ කාලය පුරා සිදු වුණේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය. ග්‍රාමීය ප්‍රදේශවල ළමයින්ට මේ ඔන්ලයින් පහසුකම් නැහැ. කොළඹ වුණත් එවැනි ළමයි ඉන්නවා. අසමාන අධ්‍යාපනයක් තුළින් තමයි ළමයි සමාන ප්‍රශ්න පත්‍රයකට මුහුණ දුන්නේ. මේක අසාධාරණ තත්ත්වයක් නේද?

ඇත්තටම එවැනි ගැටලුවක් තියෙනවා. දැන් අපි මෑත කාලීනව දකිනවා, මං හිතන්නේ මේක සාකච්ඡාවට ලක් වෙලත් තියෙනවා අපේ අධ්‍යාපන ආයතන සහ නිලධාරීන් අතර. ඇත්තටම ගුරුවරු දරුවන් සමග අදහස් හුවමාරු කර ගනිද්දි කියන දේ තමයි, ඇත්තටම ඔන්ලයින් මාර්ගයෙන් ඉගෙන ගන්න පුළුවන් ළමයි ඇවිල්ලා කිසියම් මට්ටමකට මේක කරගන්නවා. එහෙම බැරි දරුවොත් ඇවිත් එක සමානව එකම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනවා. වාර විභාග ලකුණු පවා මීට පෙර වසරවල සංසන්දනය කරලා බැලුවොත් ඇතැම් දුෂ්කර පැතිවල දරුවන්ගේ මේ වසරේ ලකුණු අඩුයි. දුර්වල මට්ටමක ඉන්නවා දරුවෝ. මොකද ඒ අධ්‍යාපනය සමහර පැතිවල හරියට කෙරිලා නැහැ. ඒක ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. සමහර වෙලාවට අවුරුද්දක් ඉගැන්නුවා කියල කිව්වට ග්‍රාමීයව ඉතා දුෂ්කර ප්‍රදේශවල කිසිම අවස්ථාවක් නැති දරුවන්ට අවුරුද්දක් ඇතුළත කිසිදු පාඩමක් සිදු කෙරිලා නැහැ. අදාල පාඩම මොකක්ද කියල දන්නෙ නැති දරුවො පවා මේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා. ඒක අසාධාරණයක් තමයි.

අනික් පැත්තෙන් ගුරුවරුන්ට මොනවද තියෙන ගැටළු? දැන් දිගු කාලයක් මේ ඔන්ලයින් ඉගැන්වීම කරගෙන යනවා. රජය ඩේටා සඳහා කිසියම් සහනයක් ලබා දෙනවද? ඒ වගේම තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබා ගන්න ගුරුවරුන්ට කොයිතරම් හැකියාවක් තියෙනවද?

ඉතාම සාර්ථකව මේ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය කරලා, හොඳින් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද භාවිතා කරමින් වැඩ කරන ගුරුවරු ඉන්නවා. මං ඒ අයව ඉතාම අගය කරනවා. ඒත් ඒ වගේම තව පැත්තකින් මම අත්දකිනවා සමහර ගුරුවරුන්ට ඒ දැනුම වෙනම ලබාදිය යුතුයි. මෙම දැනුම ලැබිය යුතුයි කියලා සමහරවිට ඒ අයම කියනවා. මොකද මෙච්චර කාලෙකට ඒ ක්‍රමවේද විතරක්ම භාවිතා කරලා අධ්‍යාපනය සිදුවුණේ නැහැ නේ. මේක අලුතෙන්ම වෙනස් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ හැමෝටම. එතකොට දරුවන්ටත් එහෙමයි. දරුවන්ටත් විව්ධ ගැටලු තියෙනවා.

මට මෑතකදී එක ගුරුතුමියක් කියනවා. ඇය වැඩ කරන්නේ ඉතාම දුෂ්කර දරිද්‍රතාවෙන් පෙළෙන සිසුන් සිටින පාසලක. එතුමිය කියනවා ඔන්ලයින් පාඩමකට දරුවෝ ගන්න ගියාට පස්සේ වෙනම දුරකථන ඇමතුම් දීලා ඒ දරුවන් ගෙන්න ගන්න ඕනේ. මොකද ළමයි හතළිහක් ඉන්නවනම් දහයක්වත් පන්තියට පැමිනෙන්නේ නැහැ. ඉන්පස්සෙ පාඩමේ අවධානය තියාගන්න ඇය වෙනම මහන්සියක් වෙන්න ඕන. සාමාන්‍ය පන්ති කාමරයක වගේ නෙමෙයි. දරුවන්ගේ අවධානය තියා ගැනීම අපහසුයි. තාක්ෂණික ගැටලු ඇති වෙනවා. එවැනි ප්‍රායෝගික ගැටළු විශාල ප්‍රමාණයකට ගුරුවරුන් මුහුණ දෙනවා. ඒ වගේම විශාල ඩේටා ප්‍රමාණයක් වැය වනවා. ඒ දරුවන්ට වෙන වෙනම කතා කරලා ඔවුන් සිටින මට්ටම තේරුම් ගැනීම ඇත්තටම අපහසුයි. ඒ විදිහට තාක්ෂණික ගැටලු, දරුවන්ගේ අවධානය ලබා ගැනීම හා ඒ පාඩම් දරුවන්ට හරියට ම අවධාරණය කිරීම, දරුවන් පාඩමට සහභාගී කරවා ගැනීම වගේ බොහෝ ගැටලු තියෙනවා.

අහන්න ලැබෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ ඔන්ලයින් පන්ති වලට ළමයි සහභාගි වෙන්නේ නැහැ කියන එක. ගුරුවරු අවුරුද්දක් පුරා ඉගැන්නුවට සමහර දරුවන් ඇහැටවත් දැකල නැහැ. ඒ දරුවෝ පන්තිවලට සහභාගි වෙලා නැහැ. සමහර දරුවන්ගේ අම්මට තාත්තට විතරයි දුරකථනයක් තියෙන්නේ. ඒ අය රැකියාවට යනවා. ගිහින් හවස පැමිණුනාට පස්සේ තමයි ළමයට ඔන්ලයින් පන්තියට එන්න පුළුවන් වෙන්නේ. එවැනි ගැටලු ගොඩක් තියෙනවා. අනෙක් පැත්තෙන් ප්‍රායෝගික විෂයන්, සෞන්දර්ය විෂයයන් වැනි දේවල් ඔන්ලයින් මාර්ගයෙන් ඉගැන්වීම අපහසුයි, ගුරුවරු ඒකට විශාල උත්සාහයන් යෙදුවත්. ඒ නිසා මේ තත්වයට ගැලපෙන අලුත් ක්‍රමවේදයන් අපි සාකච්ඡා කරලා, මේ ක්‍රමයෙන් අසාධාරණයට පත්වූ සිසුන්ටත් යම් සාධාරණයක් ඉටු කරන්න, ඒ අය මේ විභාග කඩයිමෙන් එතෙර කරන්න පුළුවන් ක්‍රමයක් අපිට හදාගන්න පුළුවන් නම් හොඳයි කියන යෝජනාව තමයි මට කරන්න තියෙන්නේ.

ඔබ පාසල් ගුරු උපදේශිකාවක්. ගුරු උපදේශිකාවකගේ කාර්යභාරය කුමක්ද මේ කාලේ…

ඇත්තටම මම මේක කිවයුතුමයි. පාසල් ක්‍රියාකාරීත්වය පාසල් භූමිය තුළ අඩු වෙලා තිබුණත්, ඇතැම් පාසල් මාර්ගගතව සතියේ දවස් පහම සාමාන්‍ය පරිදි පාසල පවත්වමින් යනවා. ඇතැම් පාසල් සියලුම සිසුන් සම්බන්ධ කරගෙන මාර්ගගතව මුළු පාසලම දවස් පහම පවත්වාගෙන යනවා. ඉතාම සාර්ථක විදිහට. අපි ඒවා අධීක්ෂණය කරනවා. අපිට කරනවනම් මේ කාලය තුළ බොහෝ වැඩ තියෙනවා. එකක් තමයි අපි මාර්ගගතව මේ අයගේ වෙබ් අඩවිවලට ගිහිල්ලා අධීක්ෂණය කරනවා කොහොමද ඒ ක්‍රියාවලිය වෙන්නේ, එහි තියෙන ගැටලු මොනවාද? ඒ ගැටලු විසඳන්න අපි මැදිහත් වෙන්නෙ කොහොමද? විදුහල්පතිතුමාට, ගුරුවරුන්ට, දෙමාපියන්ට දැනුවත් කරලා ඒවාට අපි මැදිහත් වෙලා ගැටලුව දරුවෝ නොපැමිණීම නම් අපි ඒ සම්බන්ධව යෝජනා ඉදිරිපත් කරලා කටයුතු කරනවා.

ඒ වගේම මෑත කාලීනව අපිට තිබුණු රාජකාරි ගත්තොත් මාර්ගගතව තිබුණු පාසල් අදියර වශයෙන් ආරම්භ කෙරුවා. 11 වසරට තුන්වෙනි වාර විභාගය පැවැත්වූවා පාසල්වල. ඒ කාලේ අපේ රාජකාරි ගැන ඇහුවොත් විභාගවලට පෙර අපි පාසල්වලට ගිහිල්ලා දරුවෝ එන්න කලින් මුළු පාසලම අධීක්ෂණය කරලා හැම අයුරකින්ම දරුවාට සෞඛ්‍යාරක්ෂිතව පාසලට පැමිණෙන සුදුසු පරිසරයක් තියනවද කියලා. අපේ නිර්දේශය ඉදිරිපත් කලාට පසු තමයි පාසල ආරම්භ කළේ. ඒ වගේ අපේ රාජකාරි ඇතුලේ මතුපිටින් නොපෙනුනත් අපි බොහෝ දේවල් කළා.

ඒ වගේම අපි හැම පාඩමකදීම මාර්ගගතව ගුරුවරුන් කරන වැඩ අධීක්ෂණය කළා. ඒ වගේම පෞද්ගලිකව ගත්තොත් මම සමහර පාසල්වලින් ඒ ගුරුවරියන් ආරාධනා කළා හෝ නැතුව ගිහින්, මට තාක්ෂණය භාවිතා කරන්න යම්කිසි හැකියාවක් තියෙනවා නම්, එයින් දරුවන් එක්ක වැඩ කටයුතු කරන්න උත්සාහ කළා. වැඩමුළු කළා. ඒ කරද්දි මතුවෙන ගැටළු මැඩ පවත්ව ගන්න උත්සාහ කළා. එයින් තමයි අපිට මේ ගැටලු නිසියාකාරව හඳුනා ගන්න හැකි වුණේ. එයින් පසුව අපි අධීක්ෂණ වාර්තා පිළියෙල කරලා යෝජනා සහ අදහස් ඉහළ නිලධාරීන් වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම විභාග අධීක්ෂණය සිදුකළා. එහිදී මම දැකපු දෙයක්, එක පාසලක සිසුන් තුන්සිය ගණනක් අතරින් එකසිය ගණනක් විභාගයට පාසලට ඇවිත් පෙනී හිටියා. ඒ වගේම තවත් දරුවන් ඒ වෙලාව තුළම මාර්ගගතව විභාගයට පෙනී සිටියා. ඒ තාක්ෂණය යම් දියුණු මට්ටමක තියෙන පාසල්වල. ඒවා දකින විට තමයි අපිට හිතුනේ එසේ කරන්න බැරි පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදුවෙනවා නේද? ඒ අයටත් මේ දේ ලබා දෙන්න කුමක් හෝ මැදිහත්වීමක් සිදු කළ යුතුයි කියන යෝජනාව අපි සිදු කළේ මේ අධීක්ෂණයෙදි දැකපු දේවල් හරහා.

Social Sharing

Related posts