වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA

කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර  සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව ඉක්මවමින් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි.

සමහර රෝහල් වලට මේ වන විට රෝගීන් භාර ගැනීමේ අපහසුතාවයක් මතුව ඇතැයි ද පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ රෝගීන්ගේ සංකූලතා මතු වීම නිසා මේ වන විට දැඩි සත්කාර ඒකක වල ඇඳන් අර්බුදයක් පවා මේ වන විට ඇති වී තිබෙන බවය.

එසේම ලංකාව පුරා කොවිඩ් රෝගීන් රෝහල් වලට යැවීමේ දැඩි ප්‍රමාදයක් ඇතැයිද එකිනෙකා අතර සහසම්බන්ධතා පිලිබඳ ඇති ගැටලු, ගිලන් රථ වල ප්‍රශ්න සහා රෝහල් වල ඇඳන් වල ගැටලු ඊට හේතු වී ඇතැයිද සමන්ත ආනන්ද මහතා පවසයි.

රෝගීන් රෝහලට යාමේ ප්‍රමාදය නිසා ඔවුන්ගෙන් රෝගය තවත් ව්‍යාප්ත වීමේ හැකියාවක් තිබෙන බවත් එසේම ඔවුන්ගේ සංකූලතා වැඩිවීම මත මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ගැටලු වලට නිසි විසඳුම් ලබා නුදුන්නහොත් ඉන්දියාවට වී ඇති දේ ලංකාවට ද සිදුවිය හැකි බවද හෙතෙම අවධාරණය කර සිටියි.

කොවිඩ් රෝගයත් සමඟ ප්‍රමාදය කියන කාරණය දැඩි ලෙස බැඳී පවතින බවත් අප ගන්නා තින්දු තීරණ ප්‍රමාද වී ගතහොත් අප ඉන්දියාව දෙසට ගමන් කරන බවත් ඒ නිසා ප්‍රමාදයකින් තොරව මෙහිදි තීන්දු තීරණ ගත යුතුව ඇතැයිද ඔහු පවසයි.

කොවිඩ් රෝගය සම්බන්ධව ප්‍රධාන වගකීමක් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයට බව පවසන ඒ මහතා පවසන්නේ වසංගත රෝග අංශය රැස් කර ගන්නා වු දත්ත අනෙක් අංශ සමඟ හුවමාරු කර ගැනීමේ අත්‍යවශ්‍යතාවයක් මතුව ඇති නමුත් එය සිදු නොවීම ගැටලුවක් බවය.

-ශානි-

Social Sharing
නවතම