“රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක් ඉන්නවා ”- ඇමතිනී සුදර්ශනීගෙන් අනතුරු ඇඟවීමක් !

ගම්පහ දිස්ත්‍රික්කය තුළ PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර තුළ දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ඊයේ (06) දින සඳහන් කළ බවට පුවතක් නෙත් වෙබ් අඩවියේ පළ කර තිබුණි.

එම පුවතට අනුව මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති වීම මේ සදහා හේතු වී තිබුණි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිදු කළ PCR පරීක්ෂණ 6,866ක ප්‍රතිඵල වාර්තා මේ වනතුරු ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කර තිබුණි.

ගම්පහ තත්ත්වය එසේ වෙද්දි මාතලේ ප්‍රදේශයෙන්ද වාර්තා වුයේ කොවිඩ් ආසාදිත වුවන් රැසක් නිවෙස් වල සිටින බවකි. මීට පෙර ද මෙම තත්ත්වය ඇති වූ විට යුද්ධ හමුදාපතිවරයා විසින් විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වා දෙමින් ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ආසාදිතව නිවසේ සිටිනම් එම අංකයට දැනුම් දෙන ලෙසය. නමුත් දිනෙන් දින රෝහල් ගත වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාම නිසා රෝගීන්ට නිවෙස් වල සිටීමට සිදුව ඇත.

මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (06) දින පැවති මාධ්‍ය හමුවකදී ජනතාවට දන්වා සිටියේ කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් කලබල නොවී, බිය නොවී, නිවසේම රැඳී සිටින ලෙසත් හැකි ඉක්මනින් රෝගීන් රෝහල්ගත කිරීමේ කටයුතු සිදු කරන බවත්ය.

ඔහු පවසන්නේ දවසකට එකපාරම 1500 – 1900 අතර ප්‍රමාණයක් වාර්තා වුණහම ඔවුන්ව වහාම රෝහල්කරා ගෙනයාමේදී යම්කිසි විදියකින් කාලයක් ගත වෙන බවත් ඊට  හේතුව වන්නේ මෙය  ක්ෂණික කාරණයක් නොවන නිසා බවය.

ගැහැණු සහ පිරිමි වශයෙන් වෙන් කර ඔවුන් මොන රෝහලකටද ඔවුන් ඇතුළත් කළයුත්තෙ කියා තීරණය කළ යුතුව ඇති බවත් ඊළඟට ඔවුන්ව ගෙනයෑම සඳහා රෝගින්ගේ නිවසට ගොස් ඔවුන්ව රෝහල දක්වා ප්‍රවාහනය කළ යුතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ විශාල ක්‍රියාන්විතයේදී යම්කිසි ස්ථානවලදී යම්කිසි විදියක ප්‍රමාදයක් සිද්ධ විය හැකි බවද එහිදී කලබල නොවී, බිය නොවී නිවසේ සිටින ලෙසත් වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියි.

ඔහු එසේ කියද්දී කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටින්නේ දෛනිකව දළ වශයෙන් කොවිඩ් රෝගීන් 2000ක් පමණ වාර්තා වුවද PCR පරීක්ෂණයට ලක් නොවුණු, රෝග ලක්ෂණ නොපෙන්වන තවත් රෝගීන් 2000ක් පමණ සමාජයේත් සිටිය හැකි බවත්ය.

මෙය  සතියක් තුළ මෙය 8000 දක්වා වර්ධනය විය හැකි හෙයින් අවදානම් තත්වයක් ඇති බවත් පෙන්වා දෙන ඇය පවසන්නේ මේ අවදානම දැනගෙන පරිස්සම් වන ලෙසය.

-ශානි-

Social Sharing
නවතම