ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර හෝ පැහැදිලි කිරිමක්  ලබා දුන්නේ නැත.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (03) අපූරු පැහැදිලි කිරිමක් කර ඇත. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බවය.

නමුත් මෙහිදී හෘද රෝග හෝ පිළිකා රෝග උත්සන වන්නේ කොවිඩ් වෛරසයේ සංකූලතා නිසා නම් මිය යන්නේ ඒ නිසා නම් කොවිඩ් ආසාදිත මරණයක් ලෙස එය පිළිනොගන්නේ මන්දැයි ගැටලුවකි.

එසේම ඔවුන් මෙම මරණ කොවිඩ් ආසාදිත මරණ ලෙස ගණණ් නොගත්තද මේ මෘත දේහ නිවැසියන්ට ලැබෙන්නේද නැත. ඒ්වා ආදාහනය කෙරෙන්නේ කොවිඩ් මාර්ගෝපදේශ මාලාව අනුවය.

මොවුන්ගේ මරණ වලට හේතුව සොයා පශ්චාත් මරණ පරික්ෂණ සිදු කෙරෙන්නේද නැත. එසේ නම් වසංගත රෝග අංශය මෙම මරණ කොවිඩ් නිසා සිදු නොවුවක් බවට තහවුරු කර සිටින්නේ කෙසේද?

මෙය දිනකට සිදු වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අඩු කිරීමේ උපක්‍රමයක්දැයි ජනතාව රජයෙන් විමසා සිටියි.

-ශානි-

Social Sharing
නවතම