ජනතාව රට වටේ යයි, ශ්‍රී ලංකාවත් ඉන්දියාවට සමාන වෙයිද?

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (24) පස්වරුව වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගියහ. ඒ් ඊයේ  දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි.

පවතින තත්ත්වය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූහ.  ඒ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගනිමිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ රටපුරා කොරෝනා සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බවත් මේ තත්ත්වය යටතේ ජනතාව මේ සති අන්තයේ දැඩි පරිස්සම් කාරී ලෙස කටයුතු කිරීම වැදගත් බවත් ඒ නිසා හැකිතාක් දුරට සංචාරණ සීමා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙසටය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප්‍රකාශ කර සිටින්නේ පැතිරයන කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බවය. එසේම කොවිඩ් 19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් මේ අවස්ථාවේ දේශපාලනීකරණය නොකළ යුතු බවකි.

කෙසේ නමුදු මේ වන විට ලංකාවේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනා ගෙන නැත. නමුත් එය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර ඇති විශේෂ විකෘති වෛරස ප්‍රභේදයට සමාන කම් ඇතැයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන බව ඖෂධ සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ දැනට පැතිර යන වෛරස ප්‍රභේදය බරපතල එකක් බවත් ඉන් රෝග ලක්ෂණ මතු කරන්නේ පෙනහලුවලට දරුණු ලෙස ආසාදනය වීමෙන් පසුව බවත් පවසන රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පවතින තත්වය යටතේ ජනතාව දැඩි පරිස්සම් කාරී විය යුතු බවත් සිය ගමන් බිමන් හැකිතාක් දුරට සීමා කළ යුතු බවත්ය.

විශාල වශයෙන් ජනතාව ඒකරාශී වන ස්ථානවලට ගමන් කිරීමෙන් වැළකිය යුතු බව ද ඉදිරි දින කිහිපය තීරණාත්මක බව ද ඔහු පවසා සිටියි.

නමුත් මේ වන විටත් නුවරඑළිය වසන්ත සැණකෙලි උදානය පැවැත්වෙමින් ඇත. ඊට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් විසින් අනුග්‍රහය ලබා දෙනු ලබයි. ජනතාව මේ සති අන්තයේ ද වැඩි වශයෙන් නුවරඑළියට පැමිණෙමින් සිටින බව දැකිය හැකිය.

එසේම අනුරාධපුරයට පැමිණිමෙන් වළකින ලෙස ඉල්ලා සිටියද ජනතාව එහි ගමන් කරති. මෙම තත්ත්වය තුලින් කොවිඩ් ව්‍යාප්ත වීමක් මිස පාලනයක් දැක ගත නොහැකිය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පහුගියදා (23) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ මෙරට ජනතාව බුද්ධිමත් බවත් නීති දැමීම අනවශ්‍ය බවත්ය. ඒ් නිසා කිසිදු ආකාරයකින් රට වසා නොදමන බවය.

නමුත් ජනතාව දැන් කොවිඩ් රෝගය ගැන නොතකා කටයුතු කරමින් සිටින්නේය. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? ශ්‍රී ලංකාවද ඉන්දියාවක් වෙනතුරු බලා සිටීමද?

-ශානි-

Social Sharing
නවතම