යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?

වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක  සේවක සේවිකාවන් 136 දෙනෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා  මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි.

නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත.

මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ‍ (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසා තිබුණි.

පසුගිය 20 වෙනි දිනය තුළ නව ආසාදිත රෝගින් 05  දෙනෙකු වාර්තා වී ඇති බවද කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් 06කින් මෙම රෝගින් වාර්තා වී ඇති බවද හෙතෙම තහවුරු කර ඇත.

මේ වන විට කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 1500ක් පමණ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින් බව පවසන  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 4000ක ප මණ PCR හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකොට ඇත.

මේ සියලු තොරතුරු වලින් පසක් වන්නේ යළිඳු වරක් නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවය.

කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භය සනිටුහන් වූයේද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. එතැනින් එය කටුනායක ඇතුලු දිවයින පුරා ව්‍යාප්ත වු අයුරු අපට අමතක නැත. තවමත් යන්නේ ඒ කොරෝනා පොකුරුය.

මෙහිදී හෙළි වූ ප්‍රබලම කාරණාවක් වුයේ මේ සේවක සේවිකාවන්ට අසනීප තත්ත්ව තිබියදි වැඩ කරවාගෙන ඇති බවය. කොවිඩ් ව්‍යාප්ත වීමේ ආරම්භය පිලිබඳ සෙවීමට කම්කරු අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කළේ ඒ අනුවය. නමුත් මේ අතර නීතිපතිවරයා විසින්ද මේ පිලිබඳ සෙවීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීමත් සමඟ කම්කරු අමාත්‍යාංශය මඟින් සිදු කළ විමර්ශන මන්දගාමී විය. මන්ද පොලිසියේ විමර්ශන අවසන් වන තෙක්ය.

නමුත් තවමත් මේ කණ්ඩායම් දෙකෙන් එකකවත් වාර්තාවක් ඉදිරිපත් වී නොමැත. මේ අතර යලිඳු වරක් නිදහස් වෙළඳ කලාපයේ කොවිඩ් ව්‍යාප්ත වීමේ අවධානමක් මතු වෙමින් ඇත.

මීරිගම ඇඟලුම් කම්හලක සේවිකාවක් පහුගිය දිනෙක අසනීප වී ඇති අතර එහිදී ආයතනය ඇයට නිවාඩු ලබා දී ඇත. නමුත් රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා නොගන්නා ලෙසත් අවශ්‍ය නම් පුද්ගලික ආරෝග්‍ය ශාලාවකින් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් දන්වා ඇත. එමෙන්ම නිවසට වී හැකි තරම් ඉඟුරු, කොත්තමල්ලී පානය කරන ලෙසද දන්වා ඇත.

මේ අතර රටේ පවතින නීති ලිහිල් වීම නිසා වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ වසා දැමුණු කම්හලේ සේවකයින් තමන්ට කොවිඩ් ආසාදිත බව නොදැන විනෝද චාරිකා පවා ගොස් ඇත. මේ නිසා එම විනෝද චාරිකා වලට එක් වූ අයටද මේ වන විට නිරෝධායනය වීමට සිදුව ඇත.

නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව පවතින මේ තත්ත්වය පිලිබඳ අදාල බලධාරීන් විසින් වහාම විසඳුමක් ලබා දිය යුතුව ඇත.

Social Sharing
නවතම