දකුණු අප්‍රිකාවේ කොවිඩ් ප්‍රභේදය ලංකාවටත්?

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.351 කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසු පුවත ඊයේ (12) සියලුම මාධ්‍ය පාහේ වාර්තා කර තිබුණි.

මෙම වෛරසය ආසාදනය වූ රෝගියා ටැන්සානියාවේ සිට මෙරට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී වාර්තාවී තිබුණි.

මේ අතර E484K යනුවෙන් හඳුන්වන විකෘති ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවද  ඔහු සඳහන් කර තිබුණි.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සිව්දෙනෙකු ද, යුරෝපයේ ව්‍යාප්ත වන B.1 වෛරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු සහ බංග්ලාදේශය සහ යුරෝපයේ ව්‍යාප්ත වන B.1.1.103 වෛරස ප්‍රභේදය ආසාදනය වූ එක් රෝගියෙකු ද විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි ආසාදිතයින් ගෙන් හමුවී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා පවසන්නේ පසුගිය මාසයේදී මහියංගණය, අවිස්සාවේල්ල, කුරුවිට, බියගම, මාතලේ, රත්තොට, කළුතර සහ කොළඹ නගර සභා සීමාවන් හි පුද්ගලයින් 93 දෙනෙකුගේ වෛරස සාම්පල් ජානමය විශ්ලේෂණයකට ලක් කළ බවත් එම සාම්පල් වලින් 81ක් දෙනෙකු මෙරටින් හමුවූ B.1.411 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බවට හඳුනා ගෙන ඇති බවය.

එම වෛරස ආසාදිතයින් අතරින් මහියංගණය ප්‍රදේශයෙන් හමුවූ එක් ආසාදිතයෙකුට E484K යනුවෙන් හඳුන්වන විකෘතියට ලක්වූ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. මේ  විකෘති කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලියානු ප්‍රභේදවල දක්නට ලැබෙන අතර කොවිඩ් මර්ධන එන්නත සඳහා මෙම විකෘති ප්‍රභේදය ගැටළුවක් වන බව ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කර ඇත. මෙම විකෘති කොවිඩ් ප්‍රභේදයට පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය මගහැර යාමේ හැකියාව තිබිම සම්බන්ධයෙන් ලෝකය පුරා අධ්‍යනය කරමින් පවතින අතර තවමත් සාර්ථක පිළිතුරක් ලැබී නොමැත.

මෙලෙස රෝගියෙකු සොයා ගැනීම ඉතා වැදගත් බවත් ඒ  සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් පර්යේෂණ සිදුකළ යුතු බවද ඒ මහතා පෙන්වා දී සිටියි. මෙම විකෘති කොවිඩ් ප්‍රභේදයට පුද්ගලයෙකුගේ ශරීරයේ ගොඩනැගෙන ප්‍රතිශක්තිය මගහැර යාමේ හැකියාවක් පවතින හෙයින් මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය රට තුල ව්‍යාප්තවී ඇත්ද යන්න සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතු බව ආචාර්ය චන්දිම ජිවන්දර මහතා ප්‍රකාශ කර ඇත.

මිට අමතරව වාද්දුව ප්‍රදේශයෙන් ලද සාම්පලයකින් යුරෝපයේ ව්‍යාප්ත වන B.1.428 යනුවෙන් හඳුන්වන ලබන වෛරස ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ද සිටින බවද  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පහුගිය මාසයේ පවසා තිබුණේ  මෙරටින් කොවිඩ් ප්‍රභේද 26ක් සොයා ගෙන ඇති බවත්  ඉන් අලුත්ම ප්‍රභේදය වන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර ගිය නව වෛරස් ප්‍රභේදය බවත්ය.

නමුත් මේ වන විට එම ප්‍රභේද සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ශානි

Social Sharing
නවතම