රට වහන්න කලින් තමන්ගේ මුහුණ කට වසා ගන්න! – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

මේ අවස්ථාවේ රට වසා දැමීමට කතා නොකර කළ යුත්තේ තම තමන්ගේ මුහුණ සහ කට නිවැරදිව වසා ගැනීම බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මහජනතාවට අවධාරණය කර සිටියි.

රට වැසිය යුතුද යන්න තීරණය කළ යුත්තේ රටේ අදාල බළධාරීන් බවත්, නමුත් තමන්ගේ නිවස, තමන්ගේ කාර්යාලය වසා ගැනීමට නම් මහජනතාවට හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම පැණි බෙහෙත්වලින් හෝ ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව එකතු කර කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවිය නොහැකි බවත් එමෙන්ම පිරිත් හෝ ශ්ලොකවලින් කොවිඩ් නැවැත්විය නොහැකි බවත් එවැනි මිත්‍යාවලින් මේ රෝගය සුවකළ හැකිනම් මේ වනවිට බොහෝ රටවල මෙය පාලනය වී තිබිය යුතු බව ඔහු කියා සිටියි.

මිත්‍යාව පසුපස ගොස් එම අපරාධයට හවුල් නොවන ලෙසත් මේ රෝගයෙන් ගැලවීමට ඇති මාර්ගය වන්නේ සමාජ දුරස්ථතාවය තබාගැනීම, මුව වැසුම් භාවිතය මෙන්ම ඇත සේදීම බව අවධාරණය කරන ඔහු පෙන්වා දෙන්නේ ලැබෙන එන්නත ගැනීමද මේ රෝගය වැළදීමෙන් වැළකී සිටිය හැකි බවය.

පවතින තත්ත්වය හමුවේ ඉදිරි සති දෙකක පමණ කාලයක් යන විට දෛනික ආසාදිතයින් 6000ක් පමණ වාර්තා විය හැකි බවත් ඒ නිසා හැකි තරම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම