එදා මහර කැරැල්ලට පෙර තිබූ තත්වය අද අඟුණකොළපැලැස්සේ!

බන්ධනාගාර කොවිඩ් පොකුරක් මෙවරද නිර්මාණය වී ඇති අතර වැඩිපුරම ආසාදිතයින් සිටින්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේය. මේ වන විට එහි හැටකට වැඩිය පිරිසක් ආසාදිතව සිටිති. ඒමෙන්ම එක් රැඳවියෙකු මිය ගොස් තිබුණේද මේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙනි.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ඉකුත් 02 දා විරෝධතාවයක් සිදු කළේ ඔවුන්ට PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් තෝරාගත් පිරිසකට PCR පරික්ෂණ සිදු කර ඇත. එහිදී ආසාදිතයින් 60 කට  ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබුණි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසන්නේ මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අභ්‍යන්තරයේ ගැටලු රැසක් ඇති බවය. රැඳවියන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් නැති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ එදා මහර කැරැල්ලට පෙර මහර බන්ධනාගාරයේ තිබුණේද මෙවන් තත්ත්වයක් බවය.

එසේම කොවිඩ් ආසාදිත වුවන් අඟුණකොළපැලැස්සේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආවත් ඉන්පසු ඔවුන් ගැන තොරතුරක් නැති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේද මේ වන විට කොවිඩ් ආසාදිත වුවන් සිටින බවය. අද දින එක් කාන්තාවක් මිය ගොස් තිබුණු බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ මේ රැඳවියන් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් නොමැති බවය.

මේ නිසා මොවුන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (06) දින ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර සිටියේය. විශේෂයෙන්ම එහිදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබුණි.

-ශානි-

Social Sharing
නවතම