ලොතරැයි මණ්ඩලයට වැරදීම ගැන CID යට පැමිණිල්ලක්!

ලොතරැයි අප කවුරුත් මිලදි ගැනීමට කැමතිය. මුදලක් ඇඳුනත් නැතත් පුරුද්දට ලොතරැයිපත් මිලදී ගන්නෝ ද අප අතර වේ. එමෙන්ම තමන්ටත් කවදා හෝ මුදල් ජයග්‍රහණයක් හිමි වෙතැයි විශ්වාසයෙන් ලොතරැයි පත් මිලදී ගන්නෝද සිටිති.

මේ ලොතරැයි ඉතිහාසයේදී ව්‍යාජ ලෙස සකසන ජයග්‍රාහි අංක සහිත ලොතරැයිපත් සකසා මුදල් හිමි කර ගනීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ කථා අප කොතෙකුත් අසා ඇති නමුත් ලොතරැයි මණ්ඩලයේ වෙන වැරදීම් ගැන අප අසා නොමැත.

ලොතරැයි මණ්ඩලයට වැරදුනද ඇතැම් විට ඒවා පිටත සමාජයට අනාවරණය නොවුවා විය හැකිය. නමුත් ලොතරැයි මණ්ඩලයට සිදු වූ බලවත් වැරැද්දක් පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් හෙළි කර තිබුණි.

ඒ 2019-12-31 දින මහජන සම්පත සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවය.

මේ බව  ජාතික ලොතරැයි මණ්ඩලයේ තාක්ෂණික අංශය විසින් පිළිගෙන ඇති බව එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් ප්‍රියංකර මහතාද ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් කියා තිබුණි.

ඒ මහතා පවසන්නේ මෙම ටිකට් පත් මුද්‍රණය වීම පිලිබදව ඉක්මන් පරීක්ෂණයක් සිදු වෙනු ඇති අතර මින් ඉදිරියට එවැනි ටිකට් පත් මුද්‍රණය වීම වැලැක්වීම සදහා සුදුසු වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් උපදෙස් ලබා දී ඇති බවය.

යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් බවද ඔහු කියා තිබුණි.

මේ අතර මහජන අයිතීන් සුරැකීමේ පදනම  විසින් මේ සම්බන්ධව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් සිදු කර ඇත.

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් හා මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල කර ඇත.

මෙම පැමිණිල්ලෙන් ඔවුන් කියා ඇත්තේ ලොතරැයි මුද්‍රණ ක්‍රියාවලියට අංක සටහන් වීම පරිගණක පද්ධති ඇසුරෙන් සිදු වන බව ඔවුන්ගේ දැනුම බවත් එවැනි පසුබිමක මෙලෙස එකම අංක දෙපාරක් මුද්‍රණය වීම වංචාවක් ද යන්නට සැකයක් සමාජයේ ඇති කරන කාරණාවක් වන අතර, ඒ හරහා මණ්ඩලයට පාඩුවක් හෝ ලොතරැයි මිලදී ගන්නා පාරිභෝගිකයාට පාඩුවක් සිදු විය හැකි බවය.

ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ඇති  අතර, එවැනි දේ නැවත සිදු නොවීමට හා ලොතරැයි කෙරෙහි විශ්වාස බිඳවැටීම වැළැක්වීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් එම විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසය.

Social Sharing
නවතම