මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැන සොයන්න කමිටුවක්!

ගෝලීය වසංගතයක් වූ කොරෝනා යටපත් කරමින් මේ වන විට ලංකාවේ දේශපාලනය තුල බහුලව සාකච්ඡා වෙන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජීනීවා සමුලුව ගැනය.

එක්සත් ජාතීන්ගේ 44 වන මානව හිමිකම් සැසිවාරය මෙවර පැවැත්වීමට නියමිතව ඇත.

2015 සිට  රජය සම අනුග්‍රහකත්වය ලබාදුන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළ 30/1 සහ 34/1 දරණ යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව වත්මන් රජය දැනුම් දුන්නේද ගියවර පැවති 43 වන මානව හිමිකම් සැසිවාරයේදීය.

එම යෝජනාවල සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වුව ද, තිරසාර සාමයක් හා සංහිඳීයාවක් දිනා ගැනීම සඳහා වගවීම හා මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී  ලංකා රජයේ ප‍්‍රතිපත්තිය වන බව එහිදී සඳහන් විය.

මේ අතර මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රි පුද්ගල කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු A.H.M.D නවාස් මහතා එහි සභාපතිත්වය දරණ අතර  විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි එම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇත. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව මීට පෙර පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් සිදු කරන ලද විමර්ශනයන්හිදී බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය වීම්, මානුෂීය නීති  කඩකිරීම් වැනි  බරපතල සිද්ධීන් අනාවරණ කරගෙන තිබේද යන්න සොයාබලා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න තීරණය කිරීම මෙම කොමිසමට පවරා ඇත. කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළත ලබාදෙන ලෙසට අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර තිබේ.

Social Sharing
නවතම