“NGO කාරයන්” ලෙස හඳුන්වා දීම වෘත්තීය අයිතිවාසිකම් කඩ කිරීමක්!

මහර බන්ධනාගාරය තුළ සිදු වූ සිදුවීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ මඩුල්ලට රජයේ අධි නිතීඥ  නිරාශා ජයරත්න මෙනෙවිය “NGO කාරයන්” ලෙස හඳුන්වා දීම පිලිබඳව හා ඇගේ හැසිරීම් කලාපය පිළිකුල් සහගතව හෙළා දකින බවත්  නීතිඥ‍ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම පවසයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස යන මහත්වරුන් වෙත පැමිණිල්ලක් සිදුකරමින් එම නීතිඥ කණ්ඩායම එලෙස පවසා ඇත.

මෙම නීතිඥ කණ්ඩායම වන්නේ සේනක පෙරේරා, කේ.එස්.රත්නවේල්, පාලිත බණ්ඩාර, නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න, චුලා රන්ජීව අධිකාරි, තම්බයියා ජේ.රත්නරාජා, ලුතිෆ් සයිනුල් යන මහත්ම මහත්මීන් වේ.

2020-11-29 වෙනි දින මහර බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේදි මිය ගිය රැඳවියන්ගේ පවුල වල ඥාතීන්ගේ උපදෙස් මත වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ දෙසැම්බර් 02 වෙනි මෝසමක් ඉදිරිපත් කළ බවත් බී / 3118/ 20 දරණ එම නඩුව නඩු වාර හතරකට පසු ඊයේ (16) දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේ රජයේ අධි නීතිඥවරිය වන නිරාශා ජයරත්න විසින් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් ලෙස පෙනී සිටි තමන් ඇතුලු කණ්ඩායමට වෘත්තීය ආචාරධර්මවලට පටහැනිව සහ ද්වේශ සහගත ලෙස කටයුතු කරමින් “NGO කාරයන්” ලෙස හඳුන්වා දෙමින් NGO කාරයන්ට ඕනෑ පරිදි නඩු ක්‍රියාත්මක කළ නොහැකි බව පැවසු බව මෙම පැමිණිල්ලෙන් සඳහන් කර ඇත.

නීතීඥයන් ලෙස තමාට අගතියට පත් ඕනෑම පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඇති බව පෙන්වා දෙන අදාල නීතිඥ කණ්ඩායම පවසන්නේ තමන් “NGO කාරයන්” ලෙස හැඳින්වීම තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කඩවීමක් ලෙස සලකන බවය. රජයේ නීතිඥවරියගේ ක්‍රියාකලාපය වෘත්තීය ගෞරවයට හානියක් වන බැවින් ඇයගේ හැසිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද,  මෙවැනි ක්‍රියා ඉදිරියටත් සිදුවීම හරහා නීතිඥ වෘත්තියේ ගෞරවයට හානියක් සිදුවිය හැකි බැවින් වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිඥ‍ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම අගවිනිසුරුවරයා ඇතුළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා ඇත.

Social Sharing
නවතම