වෙඩි තියන තැනට නොසන්සුන්තාවය හැදුවේ බන්ධනාගාර නිළධාරීන්!

මානව හිමිකම් ක්‍රියාකාරික සුදේශ් නන්දිමාල්

සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමේදී අද තියෙන තත්වය ගැන මොකද හිතන්නේ ?

බන්ධනාගාරය තුළ තිබෙන වධහිංසා තදබදය මෑත කාලයේ පටන් ගත්ත එකක් නොවේ එය ඈත අතීතයේ සිටම පවතින එකක්, අපිට ඒ ගැන කතා කරද්දී මතකයට නැගෙනවා නිමල රුවන්ලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරද්දී අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි ඔවුන්ට සළකපු හැටි. එම සිරකරුට නොයෙකුත් වධහිංසා කරලා අන්තිමේදී ඔහු ඝාතනයට ලක්කරා. මේ සියල්ලටම සම්බන්ධ වූ අයෙක් වර්තමාන බන්ධනාගාර අධිකාරියේ ද සිටිනවා. ඒ වගේම වැලිකඩ බන්ධනාගාරය තුළ  අගුනකොලපැලැස්ස බන්ධනාගාරය තුළ අමානුෂික ලෙස සිර කරුවන්ට කෙරෙන වධහිංසා පිළිබඳ වීඩියෝ පට පවා අපි පහුගිය කාලේ දැක්කා. ඒ පිළිබඳව අපි මාධ්‍යයටත් වාර්තා කළා .

ඒ වගේම මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව කතා කිරීමේ දී අපි දැක්කා කොරෝනා පළවෙනි රැල්ල අස්සේ කාවින්ද ඉසුරු කියන රැඳවියා ආහාරපාන නිසියාකාරව ලබා දෙන්නේ නැති අවස්ථාවන්වල දී ඒ පිළිබඳව ඉස්සරහට ඇවිත් කතා කරනවා. ඉන්පසු එදාම රාත්‍රියේ මොහු සිරකුටියෙන් පැනලා යන්න උත්සාහ දැරුවා කියලා ඔහුව වදහිංසාවට ලක්කර ඝාතනය කරනවා. මෙය නාටකයක් බව හොදාකාරවම සැමටම වැටහෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මෑත කාලයේ සිදුවුන මහර බන්ධනාගාර සිද්ධිය තවම පරීක්ෂණ කෙරීගෙන යනවා මෙහිදී ද විශාල සංඛ්‍යාවකට වධහිංසා පමණ වෙලා තුවාල සිදු කරලා තිබෙනවා. ඒ වගේම  ඝාතනයට ලක් වෙලා තියෙනවා.

කොරෝනා වසංගතයක් සමග ප්‍රමානය ඉක්මවූ රැදවියන් සංඛ්‍යාවක් එක කුටියකට ගාල් කරලා තිබෙනවා. මේ තුළින් කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර තුලින් හමු වෙනවා. ඒත් සමගම ඔවුන්ට ලැබුණු පහසුකම් සියල්ල අඩාල වනවා. අඩුම තරමේ  ආහාර පානවත් ඔවුන්ට නිසියාකාරව ලැබෙන්නේ නැහැ. මේ පීඩනයත් සමග තමා මහර බන්ධනාගාරයේ එක කුටියකින් රැඳවියන් දෙදෙනා බැගින් ගිහිං අධිකාරීවරුන් සමග කතා කරනවා. එහිදී ඔවුන්ට දැඩි හිංසාවන්ට ලක් වන්න සිදු වෙනවා. ඉන් පස්සෙ  තමයි මෙම රැඳවියන් වහල උඩ නැඟ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරන්නේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් ඉතාම අසාධාරණයි. මෙම සිද්ධිය සමග ඝාතනය වුණු සිරකරුවන්ගේ මෘත දේහය ඥාතීන්ට පෙන්වීමේදී ඔවුන් කියා සිටියේ මරණයට පත්වූවන්ගේ සරීරයේ වෙඩි සළකුණු නැහැ කියලා. නමුත් පස්සේ ඔප්පුවුණා ඒ සේරම බොරු කියලා.

මහර බන්ධනාගාරයේ සිද්ධිය වෙන්න කළින් ඒක උනේ කොහොමද කියන එක කියන්නේ බන්ධනාගාරය මාධ්‍යට වීඩියෝ පටයක් නිකුත් කරනවා. මේ ගැන ඔබේ අදහස..

මහර බන්ධනාගාර සිද්ධිය ගැන මාධ්‍යට මුදා හැරපු වීඩියෝ දර්ශනය පිළිබඳ කතා කිරීමේදී, අප මාධ්‍ය ආයතන මගින් විමසූවිට ඔවුන් පැවසුවේ මේක බන්ධනාගාර අමාත්‍යාංශයෙන් ලබා දුන්නා කියලා. නමුත් මෙම වීඩියෝවේ පසුබිමෙන් ඇහෙන හඬවල් සියල්ල කපා දමා තමයි මාධ්‍ය වෙත මුදා හැරලා තියෙන්නේ. මෙහි මුල් වීඩියෝ දර්ශනය බලද්දි හොදාකාරවම තේරුම් යනවා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මේ වීඩියෝ කරන්නේ ඉතා විනෝදජනක ලෙස කතා කරමින් කියලා. මේ සිද්ධිය වෙලාවේ ඒක සමනය කරනු වෙනුවට රැදවියන්ගේ උද්ඝෝෂනය, ඔවුන් ඝාතනය වන ආකාරය ඉතා රස විඳිමින් තමයි මේ නිළධාරීන් මේක වීඩියෝ කරලා තියෙන්නේ. ඒකේ හඬපටය ඇහුවාම චියර් කරනවා පවා ඇහෙනවා. ඔවුන් එම ගැටුම නැවතීම සඳහා පියවරක් ගත්තේ නෑ. ඒ වෙනුවට ඔවුන් ‍රැඳවියන් උසි ගන්වමින් වැඩේ නඟ්ගලා ගන්නවා. ඊට පස්සේ තමයි ඔවුන්ට අණ ලැබෙන්නේ වෙඩි තියන්න කියලා. ඉතින් මේක තමයි වර්තමානයේ බන්ධනාගාර තුළ තිබෙන තත්ත්වය.

ඉදිරියේ ද මේ වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්. මෙය ඉතා ඛේදනීය තත්ත්වයක්. මෙම රැඳවියන් සිටින්නේ මහේස්ත්‍රාත්තුමාගේ භාරයේ එතකොට ඔවුන්ව ඝාතනය කරනවා කියන්නේ මහේස්ත්‍රාත්තුමාගේ ගෙදර ඉන්න මිනිහෙක් ඝාතනය කරනවා හා සමානයි. ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම මේ බන්ධනාගාර තුළ කිසිදු පුනරුප්ථාපන කටයුත්තක් සිදු වන්නේ නැහැ. ලංකාව තුළ සිදුවෙන්නේ රැඳවියන් අමානුෂික ලෙස වධ හිංසාවන්ට ලක් කිරීම පමණ යි.

Social Sharing
නවතම සාකච්ඡා