දොස්තරලා කොළඹ වරාය නගරය ගැන අධ්‍යයනයක!

කොළඹ වරාය  නගරය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතියක් කටයුතු කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පියවර ගෙන ඇත්තේ කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරිමින් කටයුතු කරන බවට සිව් දෙසින් චෝදනා එල්ල  වෙමින් තිබියදීය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන අගනගරයටත්, කොළඹ නගරයටත් සමීපව කෘතිමව කළ කොළඹ වරාය නගරය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබදව දේශපාලනඥයන් හා විවිධ සංවිධාන, පුද්ගලයන් විවේචන හා පක්ෂ විපක්ෂ මතවාද දක්වන බවයි.

මෙම ව්‍යාපෘතියේ අරමුණු හා බලපෑම් සම්බන්ධව දේශපාලනිකව සිදු කරන මතවාද හේතුකොටගෙන මහජනතාව වික්ෂිප්ත විය හැකි බව සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

“තාක්ෂණිකව නිවැරදි කරුණු නොදැනීම නිසා මහජනතාව අතර ඇති වන වික්ෂිප්තභාවය විවිධ පාර්ශව විවිධාකාරයේ අරමුණු මත පිහිටුවා ශ්‍රී ලංකාව අකර්මන්‍ය කිරීමට දීර්ඝ කාලීනව යොදා ගත හැකිය.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ව්‍යාපෘතිය තුලින් සෞඛ්‍ය, අධ්‍යාපන, පරිසරය ඇතුලු තිරසාර සංවර්ධනයේ මුලික අංග සදහා ඇති කරන බලපෑම පිළිබදව විශේෂ අවධානයක් යොමු කර ඇති බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ වැඩි දුරටත් දන්වා සිටි.

එබැවින් වරාය නගරයේ අපේක්ෂිත අරමුණු කවරේද? කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ හා එහි බලපෑම යන්න පිළිබදව අධ්‍යනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව ගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් සඳුදා දිනයේ රැස්වු විධායක සභාව විසින් පත් කර තිබේ.

කමිටු සාමාජිකයන් මෙසේය.

1.විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව

2.විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න

3.විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩො

4.වෛද්‍ය නවීන් ද සොයිසා

5.වෛද්‍ය සමන්ත ආනන්ද

කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගැසීමක් සිදු කරන  බවට ජාතික විද්වත් සංඝ සභාව පසුගියදා චෝදනා කර තිබුනි.

කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරින බවට  නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මීට ඉහතදී සිය විරෝධය පළ කර තිබුනේ ජනපති සහ අගමැති රාජපක්ෂ සොහොයුරන් වෙත ලිපියක් යොමු කරමිනි.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අප්‍රේල් 22 බ්‍රහස්පතින්දා  සිව්වන දිනටත්  සිදු කරමින් පවති.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් දහනමයක් ඉදිරිපත් කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජී.එල්.ආර්. පෙරේරා, ගාමිණී වියන්ගොඩ, එ.ජා.ප. මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එහි සභාපති වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, එහි තරුණ පෙරමුණේ හර්ෂණ රාජකරුණා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර, ජී.එස්. ශ්‍යාමලී, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, නීතිඥ රජිත කොඩිතුවක්කු, ආචාර්ය අජන්තා පෙරේරා, බන්දුල චන්ද්‍රසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, නාගානන්ද කොඩිතුවක්කු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එහි ලේකම් රජීව් අමරසූරිය, රවීනා ගයේන්ද්‍රි ද සිල්වා මෙම පෙත්සම්කරුවෝ වෙති.

එසේම පනත් කෙටුම්පතට එරෙහිව දුමින්ද නාගමුව, ඩබ්ලිව්. ඒ.එච්. කුමාර, ආර්. රාජපක්ෂ යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Social Sharing
නවතම