ප්‍රභූ රථ පෙළට විරෝධය පෑ තරුණයා අත්අඩංගුවට ගෙන ආණ්ඩුව නා ගත්තද?

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අප්‍රේල් 27 දා රාත්‍රියේය.

එහිදී ඔහු රැගත් රථ පෙළ ගුවන් තොටුපොල සිට කොළඹට පැමිණිමේදී මාර්ග රැසක වාහන ගමනා ගමනය  සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. එසේ වාහන ගමනා ගමනය සීමා කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා  ගමන් ගත් රථ පෙළට යාමට ඉඩ ලබා දෙමින් බොරැල්ල ප්‍රදේශයේදී මාර්ගයක් දිගු වේලාවක් වසා තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු විරෝධය දක්වන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය විය.

දිගු වේලාවක් මාර්ගය වසා තබන්නේ  ප්‍රභූන්ට යාමට බවත් මෙයට ඡන්දේ දුන්නේ යැයි පවසමින් එකී පුද්ගලයා එම අවස්ථාවේ මාර්ග තදබදයට ලක්ව සිටි සියලු දෙනාටම මෙයට විරුද්ධව හෝන් ගසන ලෙස පවසන අයුරුත් එහිදී සියලුම වාහන රියදුරන් හෝන් ගසන අයුරුත් එම වීඩියෝවේ විය.

පාර වසා තැබීම සම්බන්ධයෙන් විරෝධය දැක් වූ මෙම තරුණයාව පොලිසීය අත්අඩංගුවට ගත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම සහ ප්‍රභූ ආරක්ෂක රථ පෙළකට බාධා කිරීම සම්බන්ධයෙනි.

මෙහිදී අත්ඩඅංගුවට පත් වුයේ බත්තරමුල්ල,  පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි. ඔහු දීර්ඝ කාලයක් විදේශ ගතව සිට මෙරටට පැමිණි අයෙකි.

ඊයේ (30) දින මෙම තරුණයාව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  ඇප මත නිදහස් කිරීමට නියෝග කර තිබුණි.  ඒ අනුව සැකකරු රුපියල් 50,000 ශරීර ඇපමත නිදහස් කර ඇත. එසේම මැයි මස 12 වැනිදා දක්වා නඩුව කල් තැබුණි.

ඔහු ඇප ලැබීමෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය අමතා කියා සිටියේ ඔහු කළ වරදට සමාව අයදින බවය.

මේ අතර මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම පිලිබඳව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කතා කිරීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙසය.

එසේම මෝටර් රථ නලා ශබ්ද කිරීමට ජනතාව ධෛර්යමත් කල පුරවැසියන් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික  පක්ෂය  විසින් හෙලා දකින බවත්  මෙම පුද්ගලයා  අත්අඩංගුවට ගැනීම පිළිබඳ  එක්සත් ජාතික පක්ෂය දැඩි කනස්සල්ලට පත්ව සිටීන බවද එම නිවේදයෙන් කියා තිබුණි.

විදේශීය සම්භාවනීය අමුත්තන් රැගෙන යාමේ ආරක්ෂක කටයුතු අඩාල කළ නොහැකි බව දන්නා නමුදු මෙහිදී ප්‍රභූවරයාට හෝ සෙසු පුරවැසියන්ට කිසිදු තර්ජනයක් නොවූ බවත්  මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන චෝදනා යටතේද යන්න සහ මෙම ක්‍රියාවන් මගින් ප්‍රභූවරයාට කිසියම් තර්ජනයක් එල්ල වී තිබේද නැද්ද යන්න පොලීසිය විසින් තහවුරු කළ යුතුව ඇතැයිද එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි.

එසේම මෙම නිවේදනයෙන් සිහිපත් කර ඇත්තේ 2019 මැයි මාසයේදී වත්මන්  අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කර ඇත්තේ  “ප්‍රභූ වාහන ගමන් සඳහා මාර්ග වසා දැමීමට එරෙහිව මහජනයා දක්වන අප්‍රසාදය, නොකඩවා නලා හඩ නඟමින් සිදු කරන ක්‍රියාකාරකම්  රජයේ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක්” බවය.

මෙම අත්අඩංගුවට ගැනීම මගින් පෙන්නුම් කරන්නේ මෙම රජයේ අනාරක්‍ෂිත බව සහ ඕනෑම ආකාරයක මහජන විරෝධයක් ඉවසා සිටීමට නොහැකි වීම බවද මෙම නිවේදනයෙන් වැඩිදුරටත් කියා ඇත.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව විසින්ද නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සාමකාමී විරෝධයට ඇති අයිතිය අහිමි කිරීම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමක් ලෙස බව පෙන්වා දෙමිනි.

මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රි ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රි ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ යම් ක්‍රියාවකට එරෙහිව තම විරෝධය දැක්වීමට අයිතිය තිබෙන බවත් එය අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දු වලින්ද පිළිගෙන ඇති බවත්ය. සුප්‍රකට අමරතුංග එදිරිව සිරිමල් සහ වෙනත් අය හෙවත් ජනඝොෂා නඩුව ඊට හොඳම නිදසුන බවද මාධ්‍ය සංවිධාන එකතුව සිහිපත් කර ඇත.

නලා නාද කිරීමෙන් විරෝධතා දැක්වීම භාෂණයේ සහ ප්‍රකාශණයේ අයිතියේම කොටසක් බව එම නඩු තීන්දුවෙන් පිලිගෙන ඇති බව මාධ්‍ය සංවිධාන එකතුව අදාල බලධාරීන්ට සිහිපත් කර දී සිටියි.

එසේම මෙම සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍ය වල  වත්මන් අග්‍රාමාත්‍යවරයා 1993 දී දිස්ත්‍රික්ක 19 ක එකවේලාවේම නලා පිඹිමින් ජනඝෝෂා කරන අයුරු දැක්වෙන ඡායාරූපය හා ඔහු 2019 මැයි මාසයේදී නලා හැඩවීම සම්බන්ධව කරන ලද ප්‍රකාශනයත් සීඝ්‍රයෙන් සංසරණය වන අයුරු දැක ගැනීමට හැකි විය.

-ශානි-

Social Sharing
නවතම