පෝට්සිටි පනත ව්‍යවස්ථාවට අනුකූලයි! – කෙහෙළිය

වරාය නගර පනත කිසිදු අගතියකින් තොර ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනූකූල යැයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතිපතිවරයා සදහන් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුල් කොට පාර්ලිමේන්තුවේ විවාදයට සූදානම් කළේ ඒ නිසා යැයි ඊයේ (18)  මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කිවේය.

මෙම වරාය නගරයට කළු මුදල් ගෙන ආ හැකි යැයි කී ඇමරිකානු තානාපතිනිය තවත් වරෙක ඇමරිකානුවන් ගණනාවක් වරාය නගරයේ ආයෝජනය කිරීමට සූදානම් යැයි යනුවෙන් පරස්පර කථා ප්‍රකාශ කරන බව කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“පෝට්සිටි පනත ව්‍යවස්ථාවට අනුකූලයි හා එහි නීතිමය වරදක් නොමැති බව නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා. ඒ නිසා තමයි එය න්‍යාය පුස්තකයට ඇතුල් කොට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සූදානම් කොට තිබෙන්නේ.

නිවාඩු දිනයක මෙම පනත ගෙන ඒම තුළින් උසාවි යාමට ඇති අවස්ථාව අහිමි කළා කියා ඇතමුන් චෝදනා නගනවා. නමුත් පනත සම්බන්ධයෙන් පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් කොට ඇති පෙත්සම් 21ක් තුළින් පෙනී යන්නේ පනත සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට හැකි බවයි.

මෙරට ආයෝජන කලාප ප්‍රදේශයේ පළාත් සභාවලට අයිති වන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ පනත ගෙන එන විට නිශ්ශබ්ද වුණු පිරිස් මේ වන විට මුහුද පස්වලින් පුරවා අලුතින් හදපු කලාපයට විරෝධය පළ කරනවා.

ඉදිරි දේශපාලන ගමනක් නොමැති බව දන්නා ඇතැම් බටහිර රටවල් සහ මෙරට දේශපාලන පක්ෂ මේ වැඩපිළිවෙල කඩා දැමීමට උත්සහ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම