කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට

මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය.

එම ගත් තීරණය සමඟ මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස ද අවුරුදු 16 දක්වා ඉහල දැමීමට මෙම පනත් හතර  සංශෝධනයේ අරමුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අනුමැතියට යටත් කළ ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වන ප්‍රඥප්තීන්ට අනුකූලව යමින් මෙම පනත් සංශෝධන සිදු කරනු ලබයි.

ඒ අනුව 1954 අංක 19 දරණ  සාප්පු හා කාර්යාල සේවක පනත, 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත, 1956 අංක 47 ස්ත්‍රීන්, තරුණයින් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත සහ 1927 අංක 27  අවම වේතන වැටුප් ඉංදියානු කම්කරු (සංශෝධන) පනත යන පනත් හතර අනිවාර්ය අධ්‍යාපන වයසට සමගාමීව සංශෝධන කෙරේ.

මෙම පනත් සංශෝධනයෙන් පසුව වයස අවුරුදු 16 අඩු කිසිම අයෙකු කිසිදු රැකියාවක නියුතු කරවීම නීති විරෝධී වනු ඇත.

එහෙත් වයස අවුරුදු 13 ට අඩු ළමයෙකු පාසල ආරම්භ වීමට පෙර හෝ අවසන් වීමෙන් පසු හෝ සිය දෙමව්පියන්ගේ හෝ පවුලේ කෘෂිකාර්මික ව්‍යාපාර කටයුතුවලට සහභාගි වීම සහ අධ්‍යාපන ආයතනයක හෝ පුණ්‍යාධාර කටයුතු සඳහා සංවිධානය කරනු ලබන යම් කිසි ව්‍යාපාරික ක්‍රියාවලියකට සහභාගි වීම සංශෝධනය තුළින්  වැළැක්වීමක් සිදුවන්නේ නැතැයි අමාත්‍යවරයා පෙන්වා  දෙයි.

Social Sharing
නවතම