හැදිගෑවම හොද්ද රස උනාට, ගහල හදන දරුවෝ පිරුණ රටක් සුරලොවක් වෙන්නේ නෑ…….!

child abuse in sri lanka national child protection authority

ආච්චි අම්මට වැදපන් කියලා අම්මෙක් කුඩා දරුවෙකුට අමානුෂික විදිහට පොල්ලකින් තඩිබාන වීඩියෝවක් පහුගිය දවස්වල බුකියේ ජනප්‍රිය වෙලා තිබුණා. දැන් ආරංචි විදිහට ඒ වීඩියෝ එකට අදාළව ඒ අම්මන්ඩි සහ ආත්තම්මා අත්අඩංගුවට අරගෙන. ඒ දරුවාට ගැහුවා කියන හේතුවට. පල්ලෙවෙල පොලීසිය තමයි මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ. දැන් මේ අත්අඩංගුවට ගැනීම ගැන නොයේක් කතා මේ අවකාශයේ සරණවා. ගොඩක් දෙනෙක් කාන්තාවෝ කියමින් ඉන්නවා නොගහා දරුවෝ හදන්න බෑ කියන කතාව. තමනුත් හොඳ ළමයෙක් උනේ අම්මා තාත්තා තමන්ට හොඳට ගහලා හදපු නිසා කියලා තමයි මෙයාලා කියන්නේ. ආච්චි අම්මට වදින්න බැරි දරුවෙක් මොකටද? සමහරෙක් එහෙම කියනවා.

හැදිගාන හොද්ද තමයි රහා නොගහා හදන ළමයත් හැදිනොගා හදන හොද්ද වගේ කියලා අපි අතීතයේ ඉදලා කියනවා. මේකෙන් පේනවා ඇති අපි ජාතියක් විදිහටම ළමයින්ට ගහන්න කොච්චර කැමතිද කියන එක. එක පැත්තකින් මේකෙන් ප්‍රකාශ වෙන්නේ දරුවෝ කියන්නේ තමන්ගේ දේපලක්, ඒක තමන්ට කැමති විදිහකට පරිහරණය කරන්න ඇහැක් කියන එක, මේ කතාවේ තවත් පැත්තක්. (එහෙම කියලා මල්වගේ ගැහැනු දරුවා අඹුකමට ගන්න පියවරු ඉන්නවා) කොහොම වුණත් මේ පළල් චිත්‍රය දිහා මට වෙනස් කෝනයකින් බලන්න හිතුනා.

අපි ගහලා හදපු මිනිස්සු තමයි දැන් හැමතැනම ඉන්නේ. මේ රට ගැන හිතුවොත් අද මේ රට කියලා කියන්නේ මේ ගහලා හදපු මිනිස්සු හදපු මරණාධාර සමිතියක් වගේ එකකට. මෙතන මේ ළමයට ගහන්නෙ උබ කොන්ද නමන්න ඉගන ගනින් කියලා.

ඉතිං ගුටිකාලා සාර ධර්ම ඉගනගත්ත මිනිස්සුන්ගේ රටට අද මොකද වෙලා තියෙන්නේ? දේශපාලකයෝ මොනාකළත් අපි ඔහේ බලන් ඉන්නවා. මළ ගෙදරට ආවාම දෙකට නැමිලා අනේ මන්ත්‍රීතුමා බලන්ඩකෝ මෙයා අපිව දාලා ගියානොවෑ කියලා වදිනවා. මඟුලකට ආවත් එහෙමයි. ඉස්පිරිතාලේක හරි මොකක හරි පෝලිමක ඉන්නකොට එකෙක් පොලීම පැනලා උජාරුවෙන් ගිහිං බෙහෙත් ටික ගන්නවා අපි සද්දේ වහලා ඉන්නවා, අන්න අර සාර ධර්ම වැඩ කරනවා. මම මේ ළඟදී බඳුරලිය හරහා පැලවත්තට බයික් එකේ එනකොට පාරෙන් පහලට වැටුණ ජේසීබී එකක් ගන්න මිනිස්සු කම්බිදාලා ජැක් ගහනවා. පාරේ එහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ වාහන පෝලිම. එතන හිටිය ලීඩර් කියනවා හරවලා යන්න, මෙතනින් යන්න වෙන්නේ නෑ මේක ගන්නකම් කියලා. මිනිස්සු ඉතිං ඔහොක්කරගෙන බලං ඉන්නවා. ඕක ඕයි තමුසෙලාට රෑ ඇඳගන්න තිබුණනේ, නැත්තම් දෙපැත්තෙන් පාර වසාඇත කියලා බෝඩ් එකක් දාන්න තිබුණනේ කියලා කිව්වාම, ඒ යකා වළියට එනගමන් කියනවා මෙතනට ආපු කාටවත් නැති ප්‍රශ්නයක් නේ තමුසෙට තියෙන්නේ කියලා.. ඒත් මිනිස්සු ඔහොක්කරගෙන ඉන්නවා, අනේ උබලා කවදා හරි පාර අරීනේ කියලා.. මේකට කියන්නේ නිවට ගතිය කියලා. මේක මේ ජාතිය අස්සට කිඳාබැහැලා තියෙන්නේ මෙන්නමේ පොඩි කාලේ ගහලා හදන සංස්කෘතිය නිසා කියලා තමයි මටනම් හිතෙන්නේ. මොකා ඔලුවට අත හේදුවත් අපි ඔහොක් කරගෙන බලාගෙන ඉන්නවා. ඒ අපේ හැදියාවට කෙළවෙයි කියන බයට. අනේ ඕකා ඔහොම කෑගැහුවට අපිට ඒම බෑනේ. අපි හැදුන මිනිස්සුනේ.. එහෙමයි අපි කියන්නේ.

මොකක් හරි ප්‍රශ්නයක් ආවාම මිනිස්සු ඒක මූනට කතාකරන්නේ නෑ.. ඒ ඇයි පොඩි කාලේ හුරුව. මූන බලලා එකට එක කියනවද උබ ඔහොම කියලා තමයි අහන්නේ. මිනිහෙක් ස්වාධීනව හිතන්න ඉගන ගන්නේ ගෙදරින්. පොඩි කාලෙම හැම එකාටම වැදපන් කියලා කිව්වාම ඌට කොහෙන්ද කොන්දක්? ළමයි අවුරුදු කාලෙට වදිනවා වැඩිහිටියන් ට. ඒ බලකරලා නෙවෙයි. කැමති එකාට වදින්න පුළුවන් බැරි එකා නිකං ඉදියි. ඒක වෙන එකක්. හැබැයි මෙහෙම වන්දන එක කොදු කැඩීමේ ව්‍යාපාරයක්.

එකට එක කියනවා කියන්නේ මොකද්ද වෙනස් විදිහට හිතනවා කියන එක. දාහක් වදින අස්සේ නොවැද ඉන්නවා කියන්නේ ඌ වෙනස් කියන එක. ඌගේ සිතුවිලි පරම්පරාව වෙනස් කියන එක. එහෙම එකාගේ කොන්ද කඩලා තමන්ගේ නිවට පෝලිමට එකතුකරගන්න එක අපරාදයක්. අපිට එදිනෙදා හමුවෙන, තව කෙනෙකුට නිසි ගවුරවය දෙන්න දන්නේ නැති මිනිස්සු නිසා කොච්චර හිරිහැර වෙනවද? කීයෙන් කීදෙනාද ඒවා ගැන කතාකරන්නේ? තර්ක කරන්නේ? සාධාරණත්වය වෙනුවෙන් කීයෙන් කීදෙනාද හඬන්නේ කෑගහන්නේ..

ඔබ මේ වීඩියෝ එක බැලුවනම් ඔබට තේරෙන්න ඕනී මේ දරුවා මෙතන කොතරම් මානසික හිංසනයකට ලක්වෙනවද කියලා. ඒක සාරීරික වේදනාව පරයා දහස් ගුණයක් උසයි. ඒක අමතක කරන්න එපා. ඒක මේ දරුවාගේ ජීවිත කාලයටම බලපාන්න පුලුවන්. සමහර වෙලාවට මුලු ජීවිත කාලයටම හරි නින්දක් නොලැබෙන්න පුළුවන්. එතකොට සමාජයට එන්නේ රෝගියෙක්. මේ සමාජය පිරිලා තියෙන්නේ මේ වර්ගයේ රෝගීන්ගෙන්. අපි උනත් පොඩි කාලේ සිදුවුණ සමහර දේවල් නිසා කොතරම් විඳවනවද?

මේ ලංකාවට අද උරුම වෙලා තියෙන ප්‍රශ්න ගොඩාක් අභ්‍යන්තරයේ තියෙන්නේ මෙන්නමේ කතාව. හැදිගානකොට හොද්ද රසවුණාට ගහලා හදන ළමයින්ගෙන් පිරුණු රටක් සුරලොවක් වෙන්නේ නෑ.. ඒකට හොඳම නීදර්ශනය ලංකාව. බලන්නකෝ මේකට දෙනිකව කෙළවෙන කෙළවිල්ල.. අදහා ගන්න ඇහැක්ද?..

-කේ. සංජීව-

Social Sharing

Related posts