වර්තමාන ආණ්ඩුවේ වැඩිම මුදල් උපයන අය ගැන හෙව්වොත්, පාස්කු ප්‍රහාරයේ මහා මොළකාරයින් හොයාගන්න පුලුවන්

චතුර ගලප්පත්ති – දෙවිනුවර ආසන සංවිධායක, සමගි ජන බලවේගය

මාතර දෙවිනුවර ආසනයේ විපක්ෂයේ සංවිධායක වරයා විදියට මේ කොවිඩ් තත්ත්වය ආණ්ඩුව හසුරුවන ආකාරය ගැන ඔබේ පැත්තෙන් නිරීක්ෂණ මොනවද? අපි දන්නවා දෙවිනුවර ධීවරයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුනුත් ගැටලුවලට මුහුණ දීලා ඉන්නේ..

මම හිතන්නේ මීට දවස් කිහිපයකට කලින් දිස්ත්‍රික්කය පුරාම දහනම දෙනෙක් (19) හඳුනා ගෙන තිබ්බා ආසාදිතයන්. ඊට අමතරව නිරෝදායනය කරපු ගෙවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අය බොහෝ විට දැන් ගෙවල්වලම තමයි නිරෝදායනය වෙන්නේ.

රජයෙන් දෙනව කිව්ව රුපියල් දහදාහ, ගෙවල් වල නිරෝදානය වෙන පවුල්වලට අවශ්‍යය ආහාර ටික තාම ලැබෙන්නෙ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක පෞද්ගලිකව මිනිස්සු අපිට කතාකරල කියනවා. ඊට අමතරව මරණ සම්බන්ධයෙන් නම් එහෙම තක්සේරුවක් නැහැ.

මොකද අපිට මරණ ආරංචි වෙනවා, සමහරවිට හාට් ඇටෑක් කියනවා. අපි දන්නෙ නැහැ කොවිඩ් නිසාද මොකක් නිසාද කියලා. දැන් අපි දැක්කා පහුගිය දවස්වල නිරෝධන මධ්‍යස්ථානයෙන් එළියට බහින මනුස්සයා පාරේ ඇද වැටිලා මැරෙනවා. දැන් මේක සමාජගත වෙලා ඉවරයි, මේ ආණ්ඩුව මොන දේ කිව්වත්.

ඉතින් එහෙම තියෙද්දි අද දවසේ මේගොල්ලො මේ ඇඳිරි නීතියක් නැති කරලා බස්නාහිර පළාතත් විවෘත කළා. ආණ්ඩුවේ අසමත්කම නිසා කොවිඩ් වසංගතය දැන් නවත්තගන්න බැරි තැනකට ඇවිල්ලා තියනවා. ඒකට ඒගොල්ල දවස ගානෙ විවිධ කතන්දර කියනවා. මේක මාතරට විතරක් නෙමේ මුලු ලංකාවටම පොදු කාරණයක් වෙලා තියෙන්නෙ. මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කොරෝනා වසංගතය රටට ඇතුළු වෙන තැන ඉදන් සැහැල්ලුවෙන් හිතුවේ.

මේකෙන් වෙන බලපෑම ගැන තක්සේරුවක් තිබ්බෙ නැහැ. ඒකේ ප්‍රථිපලය තමයි දෙවැනි රැල්ල විදිහට මේ ඇවිත් තියෙන්නේ. දැන් මේ සම්බන්ධව ඉන්න විශේෂඥයන් කියන විදිහට මේකෙ තුන් වැනි රැල්ලක් ආවොත් තත්ත්වය මීට වඩා දරුණු වෙයි. දැනට මං හිතන්නෙ මරණ 69යි.

මං හිතන්නේ අන්තිම හරිය මරණ සියල්ලම ගෙවල් වල නිකම්ම ඉන්න කොට නැතිවුනේ. මාතර තාම අපිට ඒ තත්වයක් දැක ගන්න ලැබේද නොලැබේද අපි දන්නෙ නැහැ. නමුත් කොරොනා මාතරටත් ඇවිල්ල තියෙනවා. දැන් මේ අවටත් රෝගීන් කීපදෙනෙක් ඉන්නවා. ඊට අමතරව නිරෝධාන කරපු ගෙවල් තියෙනවා. ඔය තත්ත්වය තමයි තියෙන්නෙ.

ඉතින් lockdown කිරීමක් මුකුත් නැහැ. මිනිස්සු ඇවිදිනවා. හොඳම දේ ඔබතුමා අහපු ප්‍රධාන ප්‍රශ්නය දෙවුන්දර ආසනේ විශේෂයෙන්ම ධීවර ජනතාව ඉන්නේ. දැන් PCR පරීක්ෂණ පහුගිය දවසක දෙසිය ගාණක් ද තුන්සිය ගානක් ද කරලා තියෙනවා. හැබැයි දවස් ගානක් වෙනවා තාම ඒවායෙ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. (මෙම සාකච්ඡාව කරනවිට තත්ත්වය) එතකොට ප්‍රතිඵල එන්නැතුව මේ මිනිස්සු ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යනවා. අපි දන්නේ නැහැ මේකේ අවදානම කොච්චර දුරට තියෙනවද කියලා.

පෑලියගොඩ මාළු පොකුර ගැන මාධ්‍යයේ යන්න උනාට පස්සේ ලංකාවේ මිනිස්සු මාළු පරිබෝජනය නතර කරලා දැම්මා. ඒ සමගම ධීවර ප්‍රජාව ලොකු ප්‍රශ්නයකට මුහුන දුන්නා. නමුත් රජයට තිබුන යුතුකමක් එතනට මැදිහත් වෙලා කටයුතු කරන්න. නමුත් රජය පැත්තෙන් මාළුන්ගෙන් කොරෝනා එන්නේ නැහැ කියන මතය හෝ සමාජයට දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඔබතුමාගේ ආසනය ගත්තොත් සෑහෙන ධීවර ප්‍රජාවක් ඉන්නවා මොකක්ද ඔවුන්ගේ තත්ත්වය?

ඔව් දැන් ධීවරයන්ට කර කියාගන්න දෙයක් නැතිව ඉන්නේ. බහුදින යාත්‍රා වගේම දවසේ රැකියා කටයුතු කරන අයත් විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අද ඔවුන් ගෙනෙන ඵලදාව ඔවුන්ට විකුණගන්න බැරි වෙලා තියෙනවා.

රජයෙන් මොන දේ කිව්වත් ඔවුන් මේක මිලදී ගන්නවා කියල, ඒක හිතන තරම් කාර්යක්ෂමව වෙන්නෙ නෑ කියල තමයි අපිට පේන්නේ. මේ තත්ත්වය අස්සේ ධීවරයන්ට යන වියදම වත් පියව ගන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවා.

මිනිස්සු තුළත් බයක් ඇවිල්ල තියෙනව මේ මාළු නිසා කොරෝනා බෝ වෙනවා කියලා. එතකොට අපි දන්නවා මේකෙන් යැපෙන අතර මැදි කණ්ඩායමකුත් ඉන්නවානේ. සාමාන්‍යයෙන් අපි දකිනවා මාළු අරගෙන යන මනුස්සයාටවත් අද වෙළඳාම් කරගන්න විදිහක් නැහැ. ඒ අතරමැදි කණ්ඩායමත් අසරණ වෙලා ඉන්නෙ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඔවුන්ගේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා. මේක රජය කතා කරනවා විතරයි.

පෑලියගොඩ වගේ බොහෝ පිරිසක් එකතු වෙන තැනක, අපි දැන් පළවෙනි රැල්ලක් ඇවිල්ලා එයින් පාඩම් ඉගෙනගත්ත කණ්ඩායමක් විදිහට අහඹු PCR පරීක්ෂණ කරලා තිබුණනානම් මෙහෙම රැල්ලක් එන්නේ නැහැ. ආණ්ඩුව නිකං උඩ පැන්නා විතරයි හරි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

හරියට කටයුතු කළානම් මේ පොකුරු දෙකම එන්නේ නැහැ. එදා අපි විපක්ෂයක් විදියට නිතරම කිව්වෙ මේ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න කියලා. එදා ඉඳන්ම කිව්වේ ඒකයි. අපි හිතන්නේ අද අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණ මේ මාතර කළොත්, අපි හිතනවා සැලකිය යුතු ප්‍රමාණයක් අහුවෙයි කියලා. මාතර විතරක් නෙමෙයි මුළු රටේම තත්ත්වය එයයි.

ධීවර ජනතාව පැත්තෙන් ගත්තොත් අද ඔවුන් දැඩි අර්බුදයක ඉන්නවා. මොකද ඔවුන්ගේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නේ. මාළු මිලදී ගන්න මිනිස්සු යන්නෙ නැහැ. ඔවුන්ගේ වියදම් කටයුතු. ගොඩක් ධීවර ජනතාව කියන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වන කණ්ඩායමක්. ඉතින් ඔවුන් දැන් ණය වෙලා හතර අතේ.

නිරෝදායනය වන පවුල්වලට තමා මේ රුපියල් දහදාහ දෙනවා කියන්නේ. හැබැයි කලිනුත් බොහොම අමාරුවෙන් රුපියල් පන්දහක් ආණ්ඩුව දුන්නා. මේ මුළු කොරෝනා කාලේ පුරාවටම මාස දෙකක් තුනක් තමයි රුපියල් පන්දාහක් දුන්නේ. හැබැයි විපක්ෂය අපි කිවුවෙ එහෙම නෙමෙයි.

රුපියල් පන්දහකින් කොහොමද අද මනුස්සයෙක් ජිවත් වෙන්නේ? අපි කිව්වේ මිනිස්සුන්ව ජීවත් කරවන වැඩසටහනක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම කිව්වා. මොකද මොනවා කරත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ.

කොරොනා වෛරස එන්න පුළුවන්. ඒත් මිනිස්සු ජීවත් කරන්න ඕනේ. මිනිස්සු ආරක්ෂා කර ගන්න ඕනේ. අද වෙනකොට පැහැදිලිවම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අසමත් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.

ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව පත් වෙන්නේ පහුගිය යහ පාලන කාලයේ තිබිච්ච රජය විශාල වශයෙන් විවේචනයට ලක් කරලා. ඔවුන්ගේ ප්‍රධාන විවේචනයක් තමයි පහුගිය ආණ්ඩුවෙ තිබිච්ච අකාර්යක්ෂමතාවය කළමනාකරණයක් නැහැයි කියන එක.  දැන් විසි වෙනි විවස්ථා සංශෝධනය සම්මත කර ගෙන තියෙනවා. එතකොට ඒකාධිපති ව්‍යවස්ථාවක් ස්ථාපනය කරගෙන තනි පුද්ගලයෙක් අතට සම්පූර්ණ බලය කේන්ද්‍ර කරගෙන දැන් තියෙන්නේ. නමුත් අපිට පේනවා මේ කොවිඩ් මර්දනය කිරීමේදී සෑහෙන දුර්වලතා. ජනාධිපතිවරයා, කාර්ය සාධක බලකා ප්‍රධානියා, අගමැතිවරයා විවිධ දේවල් කියනවා. මෙයින් පේන්නේ 19 නිසා බෑ කියපු අයට 20 නිසා ත් බෑ කියලද?

මේ ආණ්ඩුව අපේ ආණ්ඩුව පෙරළද්දී මුලින්ම කිව්වෙ 19 සංශෝධනය නිසා තමයි සියලුම ප්‍රශ්න ආවේ කියලා. ඔවුන් එය සමාජගත කළා. 19 නිසා තමයි පාස්කු ප්‍රහාරය වුණේ. මේ නිසා තමයි මහ බැංකුව කැඩුවෙ කියලා. ඔය ටිකනේ ආණ්ඩුවට එල්ල කරපු ප්‍රධාන චෝදනා.

එතකොට ඔය ටික මූලික කරගෙන අපේ තිබ්බ ආණ්ඩුවට කිව්වා මේ 19 නිසා තමයි මේ වගේ දේවල් වුණේ. රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වුණා. ආර්ථිකයට ප්‍රශ්නයක් වුණා කියලා. ඇත්තටම ඔය දෙකම වෙන්නෙ 19 නිසා නෙමෙයි, ඔය දෙකම වෙන්නේ ඒ ගොල්ල කරපු දේවල් නිසා. උදාහරණයක් විදියට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට නඩු කටයුතු වෙන නිසා, මට දැනෙන දේ නම් පහුගිය ආණ්ඩුව පෙරළන්න හේතුවක් තිබුණේ නැහැ මේ රටේ.

හොඳ සංවර්ධන වේගයක් තිබ්බා. රටේ ආර්ථිකය හදලා ලෝකයේ අංක එකට ගෙනාවා සංචාරක ක්ෂේත්‍රය. එතකොට ගම්පෙරළිය හරහා විශාල සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. පන්සල් වලට උදව් කරා. ඒ වගේ හැම පැත්තෙන්ම සංවර්ධනය වුණා.

අධිවේගී මාර්ග රේල්වේ, කොළඹ සැහැල්ලු දුම්රිය වගේ හැම ව්‍යාපෘතියක්ම කලින් ආණ්ඩුවට වඩා හොඳ විනිවිදභාවයකින් කළා. මේ විදිහට ආණ්ඩුව යද්දි අපේ එක දුර්වලතාවයක් තිබුණා, ඒ හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ.

දඬුවම් දෙන්න වෙන්නේ උසාවිය හරහා. එතකොට උසාවිය හරහා කුමන බලපෑම් මත හෝ ඩීල් මත ඒක යට ගැහිලා ගියා. අපේ ආණ්ඩුව විනාශවුණේ ඒකයි.

අපිට මතකයි ඇයි මහින්ද මහත්තයා ගෙදර ගියේ? මහින්ද මහත්තයා ගෙදර ගියේ 18 ගෙනාපු නිසා. ගොඩක් අයට ඒ ටික අමතක වෙලා තියෙනවා. මොකද මේ රටේ පාවෙන ඡන්ද තියෙනවා. මේ පාවෙන ඡන්ද තමයි තීන්දු කරන්නේ කවුද ආණ්ඩුව හදන්නෙ කියලා.

එතකොට අපි 19 ගෙනෙද්දි අපිට රට කිව්වා මේක ගේන්න කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, ස්වාධීන කොමිෂන් ටික මේ සියලු දේ. ඒවයේ අඩුපාඩු වෙන්න පුළුවන්.

මොකද මේ සේරම මිනිස්සුනෙ කරන්නේ. එතකොට මේ පෞද්ගලික සම්බන්ධතා මත එක එක පැති වල යම් යම් නැඹුරුතාවයක් තියෙන්න පුළුවන්. නමුත් කාරණාව තියෙන්නෙ මේවා අපි හැදුවානේ. ඒවා රටකට අවශ්‍යයයි. රටක් විදියට ඉස්සරහට යන්න ලෝකය එක්ක. ඉතින් 19 හරහා මේ රටට විශාල දෙයක් ඇති වුණා.

විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ සුහදත්වය වර්ධනය වුණා. මොකද 2015ට කලින් ඒක නැති කරගෙන තිබ්බේ. අනික් පැත්තෙන් ආයෝජකයින් මෙරටට එන්නේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ඇති වුණොත් විතරයි. ඒ අවශ්‍ය පරිසරය හදාගෙන යනකොට තමයි මෙයාල ආණ්ඩුව පෙරළුවේ.

පාස්කු ප්‍රහාරය, කල්පනා කරලා බලන්න, මං දන්නෑ මේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ කොමිසම හරහා නිවැරදි පිළිතුරක් ලැබුණ දවසක තේරෙයි කවුද මේක පසුපස හිටියෙ කියලා. පැහැදිලිවම මගේ අවබෝධය අනුව අද මේ ආණ්ඩුව කරන බොහෝ දෙනෙක්, අද ආණ්ඩුවේ ඉන්න ඉහළ පෙළේ බොහෝ දෙනෙක් මේක පිටුපස ඇති කියන විශ්වාසය මා තුළ තියෙනවා.

මොකද ඒව අපිට පේනවා. එක්සත් ජාතික පක්ෂය එදා ආණ්ඩු පාර්ශ්වය විදියට යම් යම් අඩුපාඩු අපි බාරගන්නවා. නමුත් කාරණාව තියෙන්නෙත් එකේ ප්‍රධාන මොළකරුවො ටිකක් ඉන්නවා. අද මේ වර්තමාන ආණ්ඩුවේ වැඩිම මුදල් උපයන අය ගැන හෙව්වොත්, ඔවුන් පස්සේ පැන්නුවොත් පාස්කු ප්‍රහාරයේ වැරදිකාරයො ටික අපිට අල්ලගන්න හරි පහසුයි.

ඉස්සරහට මං හිතන්නේ තව කාරණා අනාවරණය වෙයි. අපි දැනුවත්ව අද මේ ආණ්ඩුව යටතේ වැඩේම මුදල් හම්බ කරන අය ගැන, මුහුද හරහා වැඩිම මුදල් හම්බකරන අය කවුද? ගුවන හරහා වැඩියෙන් මුදල් හම්බකරන අය කවුද? අද මේ කොරොනා වසංගතය වෙලාවෙදිත් මුදල් හම්බ කරන්නෙ කවුද කියන එක අපි කල්පනා කරල බැලුවොත්,  මේ සියල්ල එකට සම්බන්ධ දේවල්. ඒ දේවල් ඉදිරියට අනාවරණය වෙයි.

ජනාධිපතිතුමා විදියට එතුමාගේ ඒකාධිකාරයක් හදාගන්න අවශ්‍ය තීන්දු ඇරෙන්න වෙන කිසිම දෙයක් ඔහු කරලා නැහැ. දැන් ඔයාල බලන්න ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හදපු නිසා නේද, පහුගිය කාලේ අපිට පෝස්ටර්, කටවුට් ගහන්න බැරිවුනේ. එතකොට මැතිවරණ කොමසාරිස්තුමා ගත්ත තීන්දු තීරණ.

කොරෝනා වෙලාවේ නාම යෝජනා දීලා තියෙද්දි මැතිවරණය කල් දැම්මා. හැබැයි එදා මැතිවරණය තිබ්බ නම්, එහෙනම් දෙවැනි රැල්ල එන්නෙ මීට කලින්. එතකොට එතුමා ඒ ගත්ත තීන්දුවත් එක්ක තමයි රටේ ජනතාව ඒ කොරෝනා තත්ත්වයෙන් මුදන්න පුළුවන් වුනේ. මොකද එක දිගට මාසයක් එකහමාරක් රටම වහලා තිබ්බා. ඒ වගේ තීන්දු තීරණ ගන්න පුළුවන් වුණේ ස්වාධීන කොමිෂන් සභා හරහා.

අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් ඒවා නිසා තමයි රටට ඒ ජයග්‍රහණ හිමි වුණේ. දැන් ඒ සියල්ලම පැත්තකින් දාලා තියෙනවා. අද ජනාධිපතිතුමාට පුළුවන් අධිකරණය තීන්දු කරන්න. මැතිවරණය තීන්දු කරන්න. ඉතින් මේ රට ඉස්සරහට නෙවෙයි ආපස්සට යන්නේ. මේක මේ රටේ බහුතරයක් ජනතාව කොච්චර තේරුම් ගන්නවා ද, නැද්ද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ

ඉතින් අපි විශ්වාස කරනවා මේ වෙනකොට මොකද ඡන්දෙ දීපු බොහෝ දෙනෙක් අපිට පෞද්ගලිකවත් කතා කරලා තියෙනවා ඔවුන් බලාපොරොත්තු වූ දේ නෙවෙයි මේ වෙන්නේ කියලා තමයි ඔවුන් කියන්නේ.

මං හිතනවා මේ රටේ ජනතාව දේශපාලනඥයා කවුද කියන එක හරියට අඳුර ගන්න ඕනේ. දේශපාලන අත්දැකීම් කියන එක රටක වැදගත් දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. මොකද ගෝඨාභය මහත්තයා රටේ ජනාධිපති කරන්න මේ රටේ මතයක් හැදුවා 225ම එපා, මුන් සේරම මෝඩයෝ මේගොල්ලෝ ඉන්නේ හොරකම් කරන්න, දූෂණ වංචා කරන්න විතරයි කියලා. ඒක පෞද්ගලික මාධ්‍ය වලින් දිගින් දිගටම කිව්වා. හෙනයක් ගහනවා නම් පාර්ලිමේන්තුවට හෙනයක් ගහන්න.

ගංවතුරක් ගැලුවොත් පාර්ලිමේන්තුව යටවෙන්න. මේකට බොහොම ලේසියෙන් මේ රටේ මිනිස්සුත් එකතු වුණා. හැබැයි අද මේ රට යම් හොඳ තැනකට ගිහින් තියනවනම් ඒ ගිහින් තියෙන්නේ හොඳ දේශපාලනඥයෝ නිසා. හොඳ තීන්දු තීරණ ගත්ත හින්දා. ඉතින් මොනව උනත් රට පාලනය කරන්නෙ දේශපාලකයන්.

දේශපාලනය හරහා යම් පක්ෂයක් බලයට එනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන ගොඩක් දෙනා බලාගෙන හිටියා. උදාහරණයකට මම පෞද්ගලිකව හිතන් හිටියේ එතුමා තොරතුරු තාක්ෂණය පැත්තෙන් හෝ මේ රටට ලොකු වෙනසක් කරයි කියලා. මොකද එතුමට යම් දැනුමක් තියෙනවා කියලා විශ්වාස කරපු නිසා.

මේ රටේ තොරතුරු තාක්ෂණවේදීන් ඇත්තටම පහුගිය මැතිවරණයේදී එතුමා වටා එකතු වුණා. ඒක මං පෞද්ගලිකව දන්නවා. මොකද මගේ ක්ෂේත්‍රයත් ඒක නිසා. නමුත් කාරණාව තියෙන්නෙ මේ වෙනකොට ලංකාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වගකියන ඒ ආයතනයේ ඉන්න දක්ෂම පුද්ගලයත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අයින් වුණා.

දැන් අපි දන්නවා ජනාධිපතිවරයාගේ ධුරයට අවුරුද්දක් පිරෙනවා. මේ පාලනය අස්සේ රටේ අනාගතය මොනවගේ වෙයිද?

මම ඉපදිලා නැතිවුණත් 77ට කලින් සිරිමාවෝ මැතිනියගේ පාලන කාලේ හාල් පොල්ල, මිරිස් පොල්ල වැනි දේවල් තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලෙකට රට නැවත යයි කියල තමා අපේ වැඩිහිටි පරම්පරාව නම් කියන්නේ. මොකද ඒ අත්දැකීම ඔවුන්ට තියෙන නිසා. උදාහරණයක් විදියට අද වාහනයට ටයර් එකක් ගන්න නැහැ.

එන්ජින් ඔයිල් ටිකක් නැහැ. මේ අපි කතා නොකරන මාතෘකා. බඩුමිල ගැන හැමෝම කතා වෙනවානෙ. බඩු මිල වැඩියි. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. වාහනයකවත් යන්න බැරි වෙනවා මේ විදියට. රට විශාල ණය අරගෙන තියනවා. ණය ගෙවන්නත් ඕනෑ. එතකොට දැන් මෙයාල දේශීය ආර්ථිකය ගැන කතා කරනවා.

ඒ ගැන කතා කරාට ඒ සම්බන්ධව ගත්ත කිසිම තීන්දු තීරණක් අපිට තාම පේන්න නැහැ. අනෙක් පැත්තෙන් කැලෑ සුද්ද වෙනවා. අලි මිනිස් ගැටුම් විශාල ප්‍රශ්නයක් වෙලා එදාට වඩා. ප්‍රවෘත්ති බැලුවොත් අනිවාර්යෙන් අලි මිනිස් ගැටුම නිසා මිනිස්සු මැරෙනවා කියන නිව්ස් දකින්න පුලුවන්.

මේ රටේ ප්‍රශ්න තියෙනවා ගොඩක්. කොරෝනා ප්‍රශ්නය, අලි මිනිස් ගැටුම, එතකොට මම දැක්කා පත්තරයක තියෙනවා ලංකාව මන්දපෝෂණය අතින් ආසියාවේ දෙවැනි තැන. මේ වගේ සෞඛ්‍ය ගැටලු තියෙනවා. වෙනදා නිකන් දීපු බෙහෙත් ටික අද සල්ලි දීලා ගන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට.

එතකොට අධ්‍යාපනය අද අධ්‍යාපන කොතනද?  එදා අපේ ආණ්ඩුව ටැබ් පරිගණක දීලා තිබුණා නම් අද? ඒක ගේනකොට බොරු මත ගෙනාවා මේ ටැබ් ගෙනාවොත් රටේ ළමයි මේකෙන් වැරදි දේවල් කරයි. මේකෙ හොඳ ගැන කවුරුත් හිතුවේ නැහැ. අද ඔප්පු වෙලා තියෙනවා එදා ආණ්ඩුව ගන්න හදපු ඒ තීන්දුව හරි කියලා.

අද වෙනකොට සංචාරක කර්මාන්තය කඩා වැටිලා තියෙන්නේ.  මේ රටට ආදායම් ගෙනඑන ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට කිසිම කතාවක් නැහැ. නව නිපැයුම් සම්බන්ධයෙන් ආණ්ඩුව පටන් ගන්නකොට කතා කළා. කොරොනා පළවෙනි රැල්ලේ දී නව නිපැයුම් සමාජයක් මේ රටට බිහිවන මතයක් ආවා.

කෝ ඒක මොකද උනේ ඒකට. ඒකට පත්කරපු ඇමතිතුමිය වත් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරනවා ද කියලා අපිට පේන්නේ නැහැ.  තාක්ෂණය පැත්තෙන් අපේ රට ගොඩාක් පහළින් ඉන්නේ. මේ හැම පැත්තෙන්ම පහළට යාමක් තමයි අපිට පේන්න තියෙන්නේ. අද මේ රටට වෙලා තියෙන දේ වචන දෙකකින් කියනවා නම් “ආණ්ඩුව ෆේල්”.

විදේශ සබඳතා ගත්තොත් චීනය එක්ක ගනුදෙනු කිරීමක් විතරයි තියෙන්නේ. ලෝකේ අනිත් රටවල් එක්ක සම්බන්ධතාවයක් අපිට පේන්න නැහැ. දැන් මේ රටේ මිනිස්සුන්ගෙන් අපි අහන්න ඕන දෙයක්. ගොඩක් අය ඇමරිකාවට බනිනවා.

හැබැයි අදටත් මේ රටේ දෙයක් අපිට යවන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇමරිකාව ඇතුළු යුරෝපා රටවලට. චීනය මොනවද අපේ රටෙන් ගෙන්න ගන්නෙ? අපිට ණය දෙනවා ඇරෙන්න. අපි චීන සහයෝගය ගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට.

හැබැයි අද මුළු රටම තනිකර චීන කොලනියක් කරන්න යන්නේ. චීන ව්‍යාපෘති විතරයි ගේන්නේ. ජපානය ගෙනාපු ව්‍යාපෘතියක් මේ අය අයින් කරා. ඇමරිකාව සහ යුරෝපා රටවල් තමයි අපේ නිෂ්පාදන අපිට යවා ගන්න ඉන්නෙ. ඔය ටිකක් නැති උනොත් අපි මොකක්ද කරන්නේ?

කේ. සංජීව

Social Sharing
නවතම සාකච්ඡා