මැතිවරණ කොමිසම හමුවේ ඇති අභියෝග – මංජුල ගජනායක

කවුරුන් හෝ ඇසුවොත් මෙරටේ පළමු මැතිවරණ කොමිසමේ වැදගත්ම කාර්යභාරය කුමක්ද කියා මොකක්ද ඔබ දෙන පිළිතුර? සමහරුන්ට කිසිවක්ම කළේ නැති කතා සාප්පුවක් පමණයි. තවත් සමහරුන්ට තිදෙනක් එක්ව බලවත් විසංවාද මැද්දේ දුෂ්කරව ඉදිරියට රැගෙන ගිය යාන්ත්‍රණයක්.

එහෙත් මගේ පිළිතුර වෙනස්. ඔවුන් කල වැදගත්ම දේ මෙරටේ මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම. එවැන්නක් ලංකාවේ මුලින්ම හැදුවේ CMEV සහ පැෆ්රල් ආයතනය එකට එක්ව. ඒත් පසුව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාටත් අවශ්‍ය වුණා අපි හැදුවට වඩා හොඳ එකක් හදන්න. ඒ සඳහා ඔහු තෝරාගත්තේ කොමිසමේ සාමාජික හිටපු කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර මහතා. ඔහුගේ අධීක්ෂණයෙන් කෙටුම්පත ලියන වැඩේ බාර වුණේ එහි නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල් පුංචිහේවා මහතාට. දැන් ඔහු කොමිසමේ සභාපති. ඇත්තටම රෝහණ හෙට්ටිආරච්චි මහතා එකඟ වෙයි මා සමඟ. පුංචිහේවා මහත්මා සෑදු කෙටුම්පත සාධනීය මෙන්ම බලවත් එකක්. දැන් එතුමන් ම සෑදු කෙටුම්පතට නව පණක් දෙන්න අවස්ථාවක් උදාවෙලා.

කිසිවිටෙකත් අමතක කරන්න එපා.  මෙරටේ මැතිවරණ වියදම් නියාමනය නොකළොත් අනාගතයේ සියලු හැකියාවෙන් පිරිපුන් එහෙත් මුදල් නැති තරුණ ප්‍රජාවකට ඉතා වේලාසනින්ම දේශපාලනයෙන් විශ්‍රාම ගන්න සිදුවෙනවා. පසුගිය කාලේ මහාචාර්ය හුල් මහතා වැනි අය NGO කාරයන් බවත් එමඟින් ඔහු රට පාවාදෙන බවත් කියූ පිරිස් එමටයි. ඒත් සත්‍යය තමයි ඔහු කිසිදු විටෙක NGO සාමාජිකයෙක් නොවූ ආචාර්ය උපාධි ද්විත්වයක් සහිත ද්විත්ව පුරවැසියෙක් බව. (ද්විත්ව පුරවැසියෙක් වීම දැන් අභිමානයක් නේද මිතුරණි). එහෙත් සැබවින්ම දැන් ඉන්නවා NGO කාරයෙක්. ජීවන් ත්‍යාගරාජා මහතා. ඒ නිසා NGO ෆොබියා ඇති ළමයින් වෙත අපගේ බැසිල් රාජපක්ෂ මහතා ලබා දී ඇති හද කකියවන එහෙත් අභිමානවත් පිළිතුර අසමසමයි.

මමනම් කැමතියි මේ ව්‍යුහයට. කොමිසමේ පස්දෙනා පමණක් නොවෙයි, තුනෙන් දෙකක බලයක් ලබාදුන් සමස්ත ජනතාවක් පරික්ෂාවට ලක්වන මොහොතක් මේ. ඒ නිසා කවර සීමාසහිත කම් මැද්දේ වුවත් පසුකාලීනව විවේචනයට ඇති අයිතිය එලෙසම තබාගනිමින් වත්මන් සභාපති  නිමල් පුංචිහේවා මහතා වෙත අපගේ සහය ලබා දෙනවා. ඒ වෙන අන්කවරක් නිසා හෝ නොවෙයි. මෙන්න මේ වැඩ ටික රට වෙනුවෙන් කරන්න.

  1. මැතිවරණ වියදම් නියාමනය සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම
  2. ආචීර්ණ කල්පිත මැතිවරණ නීති යාවත්කාලීන කිරීම
  3. දැනටමත් යෝජිත 18 PLUS කෙටුම්පත ඔස්සේ වයස 18 ට එළඹුණු සැමට ජන්ද භාවිතයට පහසුකම් ලබා දීම
  4. සියලු මැතිවරණ එකම දිනක පවත්වා මැතිවරණ සිතියම වෙනස් කිරීම

තවත් බොහෝ දේ තිබෙනවා. එහෙත් මේ වෙනස්කම් කරන්න වත්මන් කොමිසමට නොහැකි වුණොත් ඉන්පසු උදාවන සමාජ ඛේදවාචකයෙන් ගැලවීම මඳක් අපහසුයි. පුංචිහේවා මහත්මා මානව හිමිකම් ක්‍ෂේත්‍රයට ආධුනිකයෙක් නොවෙයි. දහසක් මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වෙත ජිවය දුන් මෙරටේ පළමු මානව හිමිකම් ගුරුකුලයේ අභිමානවත් සාමාජිකයෙක්. මැතිවරණයක සිදුකල යුතු හා නැති දේ පිළිබඳව ඔහුට තරම් මම හිතන්නේ නැහැ වෙනත් අයෙකුට පුළුල් අවබෝධයක් ඇතැයි කියා.

මැතිවරණ ඉතිහාසය ගැන වගේම මැතිවරණ නීතිය ගැන කවර මොහොතක හෝ අසන කවර පැනයක් හෝ වේවා ඊට නොමසුරුව කාලය වෙන්කරන්නත් , අප වැනි පාර්ශවකරුවන් දෙස මැදහත්ව බලන්නත් පුංචිහේවා මහත්මා ලබා ඇති පරිචය අනාගතයේ ඉමහත් ආලෝකයක් වෙයි මැතිවරණ කොමිෂන් සභාවට.

සැබවින්ම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හමුවේ අභිනවයෙන් පත්කොට ඇති කොමිෂන් සභාවල බොහොමයක් සාමාජිකයන් ගොමරිටි හා සමයි. පොලිස් කොමිෂන් සභාවේ වත්මන් සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මා බව ඇසු විට මට සදය සිනා නඟන්න සිතුණා. පළාත් සභා ජන්ද විමසීම් කාලේ මහින්ද රාජපක්ෂ මහත්මා රැස්වීමට ඒමට පෙර පුටු එහෙම නිවැරදිව සකස් කොට තිබේදැයි බැලුවේ ඒ මහත්මයා තමයි. (මතකද දන්නේ නැහැ). එහෙම බැලුවම  මැතිවරණ කොමිසමට යම් වෘත්තියමය අගයක් ලබා දී තිබෙනවා.

අප එතුමන් හා මෙතෙක් වර්ධනය කරගත් පෞද්ගලික මිත්‍රත්වය, ඔහු සතු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනත්වය හා දැනටමත් දක්වා ඇති සාධනීය ප්‍රවේශ ඔස්සේ සලකා බලා නිමල් පුංචිහේවා මහත්මා මැතිවරණ කොමිසමට නව මානයක් හඳුන්වා දෙනු ඇතැයි යන්න තමයි මගේ විශ්වාසය. මිනිස්සු ජිවත් කරවන්නේ බලාපොරොත්තු. වත්මන් සභාපති නිමල් පුංචිහේවා මහත්මා මිලියන 22 ක බලාපොරොත්තු ඉටුකළ යුතු තැනැත්තෙක් වෙලයි ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අප සතු අචල බලාපොරොත්තුව බිඳ නොදැමිය හැකි පෞරෂත්වයක් ඔබ සතුයි. ඊට අපගේ නොනිමි සහයත් හිමියි !!

මංජුල ගජනායක මුහුණ පොත..

Social Sharing
නවතම විශේෂාංග