දේශපාලන හෙංචයියන් විදුලහල්පති තනතුරු වලට එපා! – ලංකා ගුරු සංගමය

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට  දේශපාලන පළිගැනීම් කමි‍ටුවල මුවාවෙන් දේශපාලන හෙන්චයියන් පත් කිරීමට කිසිම හිරිකිතයක් නැතිව ආණ්ඩුව අත ගසා තිබෙන බවත් සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව සිදුකරන මෙම ක්‍රියාවන්ට එරෙහිව අධිකරණයට යාම පමණක් නොව මහ පාරේ අරගලයක් දක්වා දියත් කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ සවස (30) මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

” පසුගිය යහපාලන සමයේත් දේශපාලන පලිගැනීම් කියලා විශාල පිරිසකට දේශපාලන පත්වීම් දෙන්න උත්සාහ කළා.නමුත් අපි එයට එරෙහිව දැඩි විරෝධයක් පළ කළා. අපට පුළුවන් වුණා ඒක හකුලා ගන්න පැවති ආණ්ඩුවට බලකරන්න. ඒක කරන්න දුන්නේ නැ. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දක් ගිහිල්ලා නැවත දේශපාලන පළි ගැනීම් කියලා 4600  කට විදුහල්පති පත්වීම් දෙන්න යනවා. ඒ විතරක් නෙමෙයි අධ්‍යාපන පරිපාලන සේවයේ 300කට අධික පිරිසක් දේශපාලන හෙන්චයියන් පත් කරන්න යනවා. විදුහල්පතිවරුන් 4600 පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන ඉවරයි. අධ්‍යාපන පරිපාලන සේවයටත් 300ක් ගන්න හදනවා. අපි කියනවා මේවා කරන්න අපි දෙන්නෙ නෑ. සේවා ව්‍යවස්ථාවන් තියෙනවා.විදුහල්පති සේවය ශ්‍රී ලංකා පරිපාලන සේවය ට අදාළවත් මෙම සේව ව්‍යවස්ථාවලට අනුව බඳවා ගැනීම් කළ යුතුයි. අපි පළවෙනි පියවර විදිහට රට පුරාම විරෝධතා පටන් අරගෙන තියෙනවා. මේ කරන ජඩ වැඩේ නතර කළ යුතුයි.කිසිම ආණ්ඩුවක් මෙවැනි අධ්‍යාපන පද්ධතියට හානි දායක දේවල් නොකළ යුතුයි.රටේ අනාගතය ගොඩ නගන අධ්‍යාපන පද්ධතියට දේශපාලන හෙන්චයියලා පත් කරනවා කියන්නේ මේ රටේ අධ්‍යාපනය වලපල්ලටම දාන එකයි. ගුරුවරු විදුහල්පතිවරු, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්, ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් ප්‍රමුඛ කරගෙන අපි විරෝධතා ආරම්භ කරලා තියෙනවා. මේ ජඩ වැඩේ නැවැත්තුවේ නැත්තන් අපි ඊළග පියවරට යනවා. අධිකරණයට යනවා. පහුගිය ආණ්ඩුව මේ වැඩේ කරන්න හදනකොටත් අපි අධිකරණයට ගිහිල්ලා අධිකරණය හරහා එය නැවැත්තුවා. මෙවරත් අපි අධිකරණය යනවා. ඒ විතරක් නෙමෙයි අපි ජනතාව පෙළ ගස්වනවා. ගුරුවරු,ශ්‍රේණිධාරි විදුහල්පතිවරු පෙළ ගස්වනවා. දේශපාලන පත්වීම් අරගෙන අධීක්ෂණයට, ගුරුවරුන් අධීක්ෂණයට  පාසල් පාළනයට පාසල්වලට කිසි කෙනෙක් එවන්න එපා. අධ්‍යාපන පද්ධතියේ මෙහෙයවීම්වලට එන්න එපා. අපි එන්න දෙන්නේ නෑ.දෙනවා නම් දෙන්න ක්‍රම වේද තියෙනවා. වැඩබලන විදුහල්පතිවරු ඉන්නේ 2100යි. එයිනුත් විදුහල්පතිතනතුරු ඉල්ලා තිබෙන්නේ 1400යි. මේ 4600ක් ‍තෝරා ගන්නේ පසුගිය මැතිවරණයේ දී පෝස්ටර් ගහපු පාප්ප බාල්දි ගෙනිච්ච අය විදුහල්පතිපු‍ටුවල වාඩි කරන්නයි මේ හදන්නේ. අධ්‍යාපන පරිපාලන තනතුරුවලට පත් කරලා අධ්‍යක්ෂ පු‍ටුවල වාඩි කරවන්න හදන්නේ මේ අය. අපි ඒකට කොහෙත්ම ඉඩ දෙන්නේ නෑ කියන අනතුරු ඇඟවීම කරනවා.” යැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම