බැඳුම්කරේ / සීනි වංචා පරදන විදුලිබල මණ්ඩලයේ මාෆියාව

විදුලි බලය යනු රටක ආර්ථිකය මෙන්ම සංවර්ධනය, පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන සාධකයකි. වර්තමාන රජය පවසන්නේද සැමට සැමදා විදුලිය බවය.

විදුලි බල අමාත්‍යංශය

විදුලිබල අමාත්‍යාංශය පවසන අකාරයට නම් 2019 වසර අවසාන වන විට මෙරට ගෘහස්ත විදුලියනය 99.9% ක් දක්වා ළඟා වී ඇත. එමෙන්ම වාර්ෂිකව 4% – 5% ක් ප්‍රමාණයක් විදුලි ඉල්ලුම ඉහළ යන්නේය.

මේ වන විට රටේ පවතින්නේ මෙගා වොට් 4472 කි. 2025 වන විට මෙගාවොට් 6900 ක් දක්වා වර්ධනය කිරිම විදුලිබල අමාත්‍යාංශයේ එක් අරමුණකි. ලංකා විදුලිබල මණ්ඩලය ඇත්තේද මේ විදුලිබල අමාත්‍යාංශය යටතේය.

2019 වසර අවසාන වන විට මෙරට විදුලි පාරිභෝගික සංඛ්‍යාව 7,022,103 කි. මේ පිරිස ගෘහස්ථ, ආගමික ස්ථාන, පොදු අවශ්‍යතා, කර්මාන්ත, රාජ්‍ය, හෝටල්, තොග/ වීදි ලාම්පු ලෙස බෙදී යයි. මෙහි 87% ක් ම රඳා පවතින්නේ ගෘහස්ථ විදුලි පරිභෝජනයේය.

රටේ ආර්ථිකය ඉහළ යාමේදී විදුලි බිලද අපට ගෙන දෙන්නේ උණුසුමකි. මෙය ඇතැම් අවස්ථා වල විදුලි පාරිභෝගිකයාට දරා ගත නොහැකිය. නමුත් වර්තමානයේ විදුලි පාරිභෝගිකයාට  සිදුව ඇත්තේ විදුලි බිලේ වැඩි වීමත් දරාගෙන විදුලි බල මණ්ඩලයත් නඩත්තු කිරීමටය. මේ සියල්ල මහජන මුදල්ය.

මේ වන විට විදුලිබල මණ්ඩලයේ 26,000 ක පමණ සේවක සේවිකාවන් පිරිසක් සේවය කරයි. නමුත් විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ පුහුණු නිලධාරින් 6000-7000 ක් අතර සිටින බවත් එමෙන්ම අනියම් සේවකයින්ද ඒ හා සමානව සිටින බවත් ඒ අනුව සමස්ථ කාර්ය මණ්ඩලය 30,000 කට ආසන්න වනු ඇති බවයි. ඉංජිනේරුවන් සිටින්නේ 1200 ක් වැනි ප්‍රමාණයකි. වෘත්තිය සමිති 48 ක් ඇත.

මෙපමණ සේවකයින් සංඛ්‍යාවක් විදුලිබල මණ්ඩලයේ සිටියද තවමත් අපට 100% ක් සාර්ථක විදුලි බලයක් ලැබෙන්නේ නැත. එමෙන්ම ලංකාවේ ඇති සියලුම විදුලිබලාගාරද ක්‍රියාත්මක තත්ත්වයේ නැත. මෙයට ආසන්නතම  නිදසුන් වන්නේ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාර සිදුවීමය.

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලිබලාගාර ගැටළුව

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරීම් ඇරඹියේ 2000 වසරේදීය. 2002 ජනවාරි මාසයේදී පළමු අදියර සහ 2003 මාර්තු මාසයේදී දෙවන අදියර ලෙස මෙගාවොට් 165  සමස්ත ධාරිතාවකින් යුක්තව ජාතික විදුලිබල පද්ධතියට එක් විය.

මෙම බලාගාරයේ සුවිශේෂත්වය වන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් තෙල් පිරිපහදුවෙන් පසු ඉවත්කරනු ලබන නැප්තා මෙහි ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමය. මෙම බලාගාරයෙන් විදුලිය නිපදවීමට වැයවන්නේ ඒ්කකයට රුපියල් 18-20 ත් අතර මුදලකි. ඒමෙන්ම මෙය පරිසර හිතකාමී බලාගාරයකි.

මේ බලාගාරය මඟින් වාර්ෂික විදුලි නිෂ්පාදනය ගිගාවොට් 1084 ක් හෙවත් විදුලි ඒ්කක කෝටි 108 කට වඩා අධිකය.

වසර 19 කට පසු මෙකී බලාගාරයේ එක්තරා මැෂින් කොටසක් (භමක යන්ත්‍රය)   අක්‍රීය විය. ඒ් අගොස්තු මාසයේය. එ් අනුව ජාතික විදුලිබල පද්ධතියෙන් මෙම බලාගාරය ඉවත් කෙරෙන්නේ 2019 ඔක්තෝම්බර් මාසයේ යළි පණ ගැන්වීමේ සැලසුම ඇතිවය. මේ භමක යන්ත්‍රය හෙවත් Rotor කොටස අලුත්වැඩියාව සඳහා ඉන්දියාව වෙත යැවීමට නියමිතව තිබුණි.

නමුත් ලංවිම නිලධාරින් එය යවා ඇත්තේ ඩුබායි වලටය. පසුව ඩුබායි වල සිට ඉන්දියාවට ගෙන ඒමට සිදුව ඇත. මේ නිසා මාස දෙකක් තුල යළි පණ ගැන්වීමට තිබු බලාගාරය වසර එක හමාරක් දක්වා ප්‍රමාද විය. මේ නිසා සෘජුවම රුපියල් බිලියන 25 ක පමණ පාඩුවක් සිදු විය.

මේ අතර අදාල කොටස අලුත්වැඩියා කිරීමෙන් පසු යළි ලංකාවට ගෙන එන ලද්දේය. එයද විශාල වියදමක් දරමිනි. ගෙනා පසු  එය නිසි සොයා  බැලිමකින් තොරව යළි බලාගාරයේ සවි කිරිමට යාම නිසා බලාගාරයේ ප්‍රධාන භමක යන්තුයට හා බෙයාරිං කොටස් දෙකකට හානි සිදුව තිබුණි.

විදුලිබල මාෆියාව

විදුලිබල මණ්ඩලයේ ක්‍රියාත්මක වන මාෆියාවක් පවතින බව විදුලිබල පොදු සේවා සංගමය පවසයි. එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පවසන්නේ දිගින් දිගටම කියන විදුලි මාෆියාව තවදුරටත් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. දූෂිත දේශපාලනඥයින්, කූඨ ව්‍යාපාරිකයින්, අවස්ථාවාදී වෘත්තිකයින්, වංක නිලධාරින් කියන මේ හතරගොල්ලන්ගෙන් සැදුම්ලත් විදුලි මාෆියාවේ සිටින බවය.

සපුගස්කන්ද බලාගාරයෙන් නිපදවන නැප්තා ටික අද නිකං වගේ දෙන්නෙ, පිටරටට රුපියල් 30කට විකුණනවා. අපි රුපියල් 70 ගාණකට ගත්තෙ ඒක. මේ බලාගාරයෙන් අපි යුනිට් එකක් රුපියල් 18කට වගේ හැදුවෙ. බිලියන ගාණක පාඩුවක් වෙලා තියෙනවා. අද අපි ලොකුවට කතා කරනවා මහබැංකු බැඳුම්කරේ ගැන, බිලියන 11යි. සීනි වංචාව බිලියන 15යි. හැබැයි විදුලිබල මණ්ඩලයේ මේ බලාගාරය නිසා වෙච්ච පාඩුව බිලියන 25යි කියන්නෙත් අපි මේ සරල ගණං සාත්තරෙන් හදලා. ඊට වඩා විශාල ප්‍රමාණයක පාඩුවක් වෙලා තියෙනවා.

මන්නාරම් සුළං විදුලි බලාගාරය ආරම්භ කරලා මෙගාවොට් 100ක් කියලා ආරම්භක උත්සවයක් තියලා විවෘත කරපු බලාගාරය, අපි අහනවා පාලන අධිකාරියෙන් මෙගාවොට් කීයක් පද්ධතියට දෙනවද ? කැළණිතිස්ස ද්විත්ව චක්‍රිය බලාගාරය සවිකරනකොට අධීක්ෂණයක් නොමැතිව සවිකරපු නිලධාරීන්ට ගත් ක්‍රියාමාර්ගය මොකද්ද? මේක සම්බන්ධයෙන් තවත් සැඟවුණු කාරණා තියෙනවා, අපි ඉදිරියේදී ඒවාත් හෙළිකරන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි මාස කිහිපයත් යම් වර්ෂාවක් ලැබෙයි, නමුත් ඉදිරියේදී හරි වර්ෂාවක් නොලැබුණොත් කොහොමද මේවා දුවන්නෙ කියන ප්‍රශ්නය තියෙනවා. ආණ්ඩුවට කියනවා වහාම විදුලිබල මණ්ඩලයේ මේ මාෆියාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හරි පත්කරලා මේවා ගැන හොයන්න” යැයි මාලක වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.

අසීමීත වැටුපක්

මේ ලංකා විදුබල මණ්ඩලයේ තවත් දිග්ගැස්සෙන අර්බුදයක් වන්නේ වැටුප් විෂමතාවයයි.   2015 ජනවාරි 8 වෙනිදා ලංවිම  එවකට සිටි  සාමාන්‍යධිකාරී විසින් අත්තනෝමතිකව අත්සන් කරන ලද නීති විරෝධී E වැටුප තලය අනුව වැටුප රැගෙන විශ්‍රාම යාමත් ඉන්පසු පසුගිය වසර හය පුරාවට සාමාන්‍යධිකාරිවරු 6 දෙනෙකු හා අතිරේක සාමාන්‍යාධිකාරීවරු 30 පමණ නීතිවිරෝධී වැටුප්  රැගෙන විශ්‍රාම යාමත් නිසා ලංවිම සාමාන්‍ය සේවකයාට සිදුව ඇත්තේ අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙනි.

පාවාදීම්, ද්‍රෝහිකම්, ගැරහුම්, අවලාද යටතේ දෝලනය වෙමින් තිබු මේ වැටුප් තල ප්‍රශ්නය වසර හතකට පසු  2019.04.02 දින ඓතිහාසික ජයග්‍රහණයක් ලංවිම සේවකයන්ට ලබා දීමට පොදු සේවක සංගමයට  හැකි වි ඇත. ඒ අසාධාරණ ලෙස වැඩි කරගත් 1:8 වැටුප් අනුපාතය යළි 1:6 කරවීමටය. නමුත් එකල සිටි කිසිදු බලධාරියෙක් මේ වැටුප් තලය සංශෝධනය කළේ නැත. ඔවුන් අධිකරණ තීන්දුව පැත්තකට දමා පුරුදු පාරේම වැටුප්  තල ක්‍රියාත්මක කළේය.

අපට මේ හදිසියේම ලංවිම  වැටුප් තලය ගැන කථා කිරිමට සිදු වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගත් පියවරක් නිසාය. ඒ හොර වැටුප් තලය අනුමත කරමින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමය.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ  අධිකරණය විසින්  බල ශූන්‍ය  කරන ලද වැටුපක් අනුමත කිරීමට ජනාධිපතිවරයාට  බලයක් නොමැති බවය.. මොවුන් මෙලෙස ලබා ගන්නේ මෙරට මහජනතාවගේ මුදල්ය.

නව බඳවා ගැනීම් /උසස් කිරීම්

මේ අතර අත්තනෝමතික ලෙස සේවකයින් මර්දනය කරමින් සිදු කෙරෙන නව බඳවා ගැනීම් එහා සිදු කෙරෙන උසස් කිරිම් පටිපාටියන්ට එරෙහිව  ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමය හා අධිකාරි සංගමය අද (23) අසනීප නිවාඩු දමා වෘත්තිය ක්‍රියා මාර්ගයක නිරතව සිටියි.

රජය මේ බඳවා ගැනීම් හා උසස් කිරිම් වලදි යොදා ගන්නා නව ක්‍රමවේදය නිසා විදුලිබල මණ්ඩලයේ ඇතුලත සිටින වෘත්තිය සුදුසුකම් ඇති අයට මෙයින් උසස් වීමේ හැකියාව ඇහීරි ගොස් නව පුද්ගලයින්ට රැකියා හිමි වීමක් සිදු වේ.

නමුත් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ විදුලි බලයේ අකුරක්වත් නොදැන අහසින් කඩා පාත් වෙන නොදන්නා නිලධාරියාට වඩා විදුලිබලය ගැන දැනුමක් ඇති පුද්ගලයින්ට උසස් වීම් ලබා දීම කාලෝචිත බවය.

විදුලිබල අමාත්‍යාංශයේ 2019 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව විදේශ ගත පුහුණුවීම් 27 ක් මේ අමාත්‍යාංශ නිලධාරින් ලබා ඇත. ඔවුන් දේශිය පුහුණු වීම් ලබා ඇත්තේ ද 27 ක් වන අතර ඒවා එක් දින හෝ දෙදින වැඩමුලුය. නමුත් විදේශ ගත පුහුණුවීම් 27 ක් ගොස් ඇති අතර ඒවායේ සමහර පුහුණුවීම් දින 5-8 ඒ්වාය.

මොවුන් මොනතරම් දේශීය / විදේශීය පුහුණු ලැබුවද තවමත් මෙරට විදුලිබල අමාත්‍යාංශයට නම් සිදු වු සෙතක් නොමැති අතර ඇත්තේ අකාර්යක්ෂම පාලනයකි.

-ශානි-

Social Sharing
නවතම පින්තූර ගැලරිය