විදුලිබල මණ්ඩලය ඉන්නේ ගිවිසුම් උගුලේ පැටලිලා!

බන්දුල චන්ද්‍රසේකර

හිටපු සභාපති – ලංකා විදුලි පුද්ගලික සමාගම

අපි කාලයක ඉදලා විදුලිබල ක්ෂේත්‍රයේ අර්බූදයක් පිළිබඳව කතාකරනවා, අපි මුලින්ම මේ අර්බූදය සරළව පැහැදිලි කරගම්මු..

ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය ඇතැම් ජයග්‍රහණ ලබලා තියෙනවා. විශේෂයෙන්ම අපි කලාපයේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කළොත් මේ කුඩා දිවයිනේ පැය 24 පුරාම විදුලි බලය තිබෙන රටක් හැටියට, අපි ජයග්‍රහණය ලබා තිබෙනවා. ඒ වගේම ඒ ලැබෙන විදුලිය අඛණ්ඩව ලබා ගන්න පුළුවන් තත්ත්වයකුත් තියෙනවා. නමුත් අර්බුදය තමයි කලාපීය රටවල් එක්ක ගත්තහම විදුලි බලය සඳහා අපි වැය කරන මුදල, එහෙම නැත්නම් ජනතාව විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල බොහෝ වැඩි වීම. මේක තමයි මූලිකම ප්‍රශ්නය. විදුලි ජනනය සඳහා අපි වැයකරනවා වාර්ෂිකව බිලියන 300ක්, 350ක් විතර මුදලක්. විදුලිබල මණ්ඩලය තමයි ඒකාධිකාරී රාජ්‍ය ආයතනයක් හැටියට මෙතන කටයුතු කරන්නේ. මේ ආයතනය විදුලි ජනනය සඳහා දරන පිරිවැය, විදුලිය පාරිභෝගිකයා වෙත විකිණීමෙන් ලැබෙන ආදායමෙන් රිකවර් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා විදුලි බල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන තත්වයක් අපිට පහුගිය වසර කිහිපය තුළම දකින්නට පුළුවන්. මේ නිසා රජයේ භාණ්ඩාගාරයට බරක් වෙලා තියෙනවා මේ ආයතනය. රාජ්‍ය බැංකුවලට මේ පිරිවැය බරක් වෙලා තියෙනවා. විදුලිබල මණ්ඩලය වගේ දැවැන්ත ආයතනයක් නඩත්තු කිරීම, විදුලි ජනනය සඳහා වැය කරන විශාල මුදල. මේ අර්බුදයට ප්‍රධාන හේතුව මේක.

ඇත්තටම මම පිළිගන්නේ නැහැ මේ රටේ විදුලි බලය පිළිබඳව ප්‍රතිපත්තියක් නැහැ කියලා. කලින් කලට විවිධ ආණ්ඩු විසින් එවැනි බලශක්ති ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. ඒවා ඉතාමත් දියුණු මේ ක්ෂේත්‍රය පිළිබඳව සමස්ත දැක්මක් සහිතව සකස් කරපු ප්‍රතිපත්ති. නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීමේදී නොයෙකුත් අඩුපාඩු තියෙනවා. උදාහරණයක් හැටියට විදුලි ජනනය ගත්තොත් විදුලිබල මණ්ඩලය හැම වර්ෂ දහයකට සැරයක් අනාගත විදුලි ජනන සැලස්ම සකස් කරනවා. මේ විදුලි ජනන සැලස්ම අවුරුදු පහකට සැරයක් නැවත සලකා බැලෙනවා. එහි තියෙන අඩුපාඩු සකස් කරනවා. නමුත් විදුලි ජනන සැලැස්ම අනුව අපේ රටේ විදුලි බලාගාර ඉදිකිරීම, එහෙම නැතිනම් ඒ ජනන කටයුතු සිදුවීම සිදුවෙන්නේ නැහැ. විදුලිබල මණ්ඩලය මේ ජනන සැලැස්ම සකස් කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙතක් තියෙනවා. ඒ ක්‍රියා පිළිවෙතේ අරමුණ අඩු වියදමෙන්, අඩු පිරිවැයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම. විදුලිය අපට විවිධාකාරයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. අඩු පිරිවැයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න හදන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරගන්න බැරිවෙන ආර්ථික කාරණා, තාක්ෂණික කාරණා, දේශපාලන, සමාජ කාරණා, පාරිසරික කාරණා මතු වීම නිසා විදුලිබල මණ්ඩලයට සිදු වෙනවා වැඩි මුදලට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී අරගෙන ජනතාවට සපයන්න. මෙන්න මේ විදුලි මිලදී ගැනීම් නිසා, ඒ සඳහා දරන මුදල, ඒ පිරිවැය වැඩි නිසා ඒ දරණ පිරිවැයට සමානව විදුලිය විකුණන්න සිදු වෙනවා. සමස්තයක් විදියට ගත්තොත් විදුලි ඒකකයකට රුපියල් 16.50 කට වගේ මුදලක් විදුලිබල මණ්ඩලය දරනවා. නමුත් ඒ ගානට නෙමේ විදුලි ඒකකයක් විකුණනේ. ඒ ලැබෙන ආදායම අඩු නිසා ඒක රාජ්‍යය භාණ්ඩාගාරයට බරක් වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා සමහර විට සමහර කාලවලට රටේ විදුලි අර්බුදයකුත් පැන නගිනවා. සාමාන්‍යයෙන් වාර්ෂික විදුලි ඉල්ලුම 5% – 7% අතර ප්‍රමාණයකින් වැඩි වීමක් සිද්ධ වෙනවා. ඉල්ලුමට සරිලන ප්‍රමාණයට විදුලි ජනනය ඇති නොවීම නිසා විදුලි කප්පාදු කිරීම්, අනෙකුත් තාක්ෂණික ගැටලු පැන නගිනවා. මේක තමයි සමස්තයක් හැටියට තියෙන අර්බුදය.

කතාබහක් තියෙනව දැවි තෙල් බලාගාර වලින් විදුලි මිලදී ගැනීමේදී ලොකු මාෆියාවක් තියෙනවා කියලා. මේ මාෆියාව හින්දා තමයි අලුතින් බලාගාර හැදෙන්නේ නැත්තේ කියලා කතාවක් තිබෙනවා. මේ කතාව ඇත්තද?

ඇත්තටම 2000 – 2002 වගේ මේ රටේ හදපු ජනන සැලැස්ම ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. විදුලිබල මණ්ඩලය අඩු වියදමින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා එවකට බලාපොරොත්තු තැබුවේ ගල් අඟුරු බලාගාර වෙත. නමුත් ඒ ගල් අඟුරු බලාගාරය නිසි කලට ඉදිකර ගන්න බැරි වුණා. මේ බලාගාරවලට විරුද්ධව විශාල ජනතා උද්ඝෝෂණ ඇතිවුණා, පාරිසරික ප්‍රශ්න නිසා. එනිසා බලාගාර විවිධ ස්ථානවල ගොඩනගන්න උත්සාහ ගත්තා කිහිප වතාවක්ම. ඒ හැම අවස්ථාවකම රජයට මුහුණ දෙන්න සිද්ධ වුණා ජනතාවගේ විරෝධයට. අවසාන වශයෙන් නොරොච්චෝලේ ඉදි කළා. ඒක ඉදිවුණේ සෑහෙන ප්‍රමාදයක් වෙලා. අවුරුදු දහයක් විතර ප්‍රමාද වුණා. මේ අවුරුදු 10ක ප්‍රමාදය තුළ විදුලිබල මණ්ඩලයට සිද්ධ වුණ අර මං කලින් කිව්ව වගේ විදුලි ඉල්ලුම සපුරාලීමට පෞද්ගලික බලාගාර වලට, විශේෂයෙන්ම පෞද්ගලික දැවි තෙල් තාප බලාගාරවලට ඉඩදීලා ඒ අයගෙන් විදුලිය මිලදී ගන්න. මෙන්න මේ පුද්ගලික සමාගම් සමග විදුලි බල මණ්ඩලය එළැඹුන ගිවිසුම්වල තියෙන මූලික තාක්ෂණික ගැටලු නිසා විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙලා තියෙනවා විශාල මුදලක් දැවි තෙල් බලාගාර සඳහා ගෙවන්න. සාමාන්‍ය විදුලි ඒකකයක් සඳහා රුපියල් 23 සිට 45 ත් අතර මුදලක් ගෙවන්න. අර මං කලින් කිව්වා වගේ සාමාන්‍ය විදුලිය ජනනය කරන්න යනවා රු. 16.50ක්. හැබැයි රුපියල් 23 ත් 40 ත් අතර පරාසයක ගෙවීම් සිද්ධ කරන්න වෙලා තියෙනවා.

දැන් මේ පුද්ගලික බලාගාර සමග ඇතිකරගත්ත ගිවිසුම් අවුරුදු පහළොවකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. පළමුවෙන්ම මේ ගිවිසුම් අවුරුදු දහයකට වගේ තමයි සකස්කෙරුණේ. කලින් කලට නැවත මේ ගිවිසුම් දික් කලා. නැවත ගිවිසුම්වලට එළඹුණා. මේ නිසා විශාල විදිහට විදුලිබල මණ්ඩලය මේ උගුලේ පැටලිලා තියෙනවා. හැබැයි මෙහි ගිවිසුම් පිළිබඳව, විශේෂයෙන්ම රජයේ විගණකාධිපතිවරයා, ඒ වගේ මේ ගැන උනන්දුවක් දක්වපු විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයෝ, හැමතිස්සෙම ප්‍රශ්න කරපු දෙයක් තමයි මේ ගිවිසුම් විදුලිබල මණ්ඩලයට පාඩු වන ආකාරයට, අලාභයක් වෙන ආකාරයට සැකසුනේ් ඇයි කියන එක. ඒ නිසා විදුලිය නිෂ්පාදනය කරනවාටත් විදුලි බලාගාර වලට ගෙවනවා, ඒ වගේම මේ බලාගාරවලට මුදල් ආයෝජනය කරපු නිසා ප්‍රාග්ධන වියදමත් විදුලිබල මණ්ඩලය ගෙවන විදිහට තමයි මේ ගිවිසුම් සකස් වෙලා තියෙන්නේ. ප්‍රශ්නය වෙන්නේ අවුරුදු දහයක් විතර යනකොට සමාගම් තමන්ට ගිය ප්‍රාග්ධන වියදම් සම්පූර්ණයෙන්ම කවර් කරගෙන තිබියදීත් මණ්ඩලය ඒ සඳහා ගෙවීම.

විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඉහළ නිලධාරීන්, මේ විෂය පිළිබඳව වගකීම් දරන ඇතැම් දේශපාලඥයන් සහ මේ සමාගම් අතර  නිල හෝ නිල නොවන මට්ටමේ ඇතිකරගත් අවබෝධයක් උඩ තමයි මේ විදුලි මාෆියාව ක්‍රියාත්මක වෙන්නේ. අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන්නට පුළුවන් තත්වයක් ඇති වුනත්, ඒ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, නියාමන ආයතන, යම් පරිසරයක් ගොඩ නඟලා දුන්නත්, විදුලිබල මන්ඩලය ඇතැම් නිලධාරීන් මේ සමාගම්වල තියෙන බලපෑම, දේශපාලන වශයෙන් තියෙන බලපෑම අනුව අර පෞද්ගලික අංශයට ම විදුලි මිලදී ගැනීමේ කොන්ත්‍රාත් ලබා දෙනවා. සමහර විට ක්ෂේත්‍රයේ විවිධ අර්බුද මවලා මේ මාෆියාව දිගටම කරගෙන යනවා.

පහුගිය කාලේ අපි දැක්කා ගෙවල්වලට සහ රාජ්‍ය ආයතනවලට පහසුකම් දුන්න සූර්ය බලය නිෂ්පාදනය කර ගන්න.  වගේම එවා ප්‍රධාන පද්ධතියටත් එකතු කරගැනීමේ වැඩපිළිවෙළක් තිබ්බා. දැනගන්න තියෙන විදිහට ඒකත් අසාර්ථකයි.

2013, 2014 වගේ කාලයේ ඉදලා විදුලිබල මණ්ඩලය සූර්ය බල තාක්ෂණය පාවිච්චි කරලා නිවෙස් මට්ටමින් විදුලි නිෂ්පාදනය කිරීමට ඒ වගේම ජාතික පද්ධතියට විදුලිය උකහා ගැනීමේ ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඒ වගේම පසුගිය යහපාලන ආණ්ඩුවත් සූර්ය බල සංග්‍රාමය කියලා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන මූල්‍ය ආධාර ලබා දුන්නා. නිවෙස් වලට මේ සුර්ය බල පද්ධති සවි කරල එමගින් ජාතික පද්ධතියට විදුලිය ලබාදීමටත්, සුර්ය බල තාක්ෂණයෙන් විදුලි ලබා ගැනීමටත් හැකිවන ආකාරයට සාර්ථක වැඩපිලිවෙලක් දියත් වුණා. ඒක ඇත්ත වශයෙන් ම අසාර්ථක වුණා කියන්න බැහැ.  යම් සාර්ථක මට්ටමක ඒක ක්‍රියාත්මක වුණා. ඇත්ත වශයෙන් ම සූර්ය බල කර්මාන්තයේ නියැලෙන ආයතන පනහකට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සාර්ථකව තාක්ෂණික ප්‍රමිතියෙන් යුතුව ක්‍රියාත්මක වුණා. නමුත් අපි දැක්කා යහපාලන ආණ්ඩුවේම ඇතැම් ඇමතිවරු පැවති ක්‍රියාවලිය බිඳ වට්ටලා ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු සඳහා විවිධ යෝජනා ගෙනඒම තුළ මේ කටයුත්ත යම් ප්‍රමාණයකට අඩාල වීමක් තිබුණා. නමුත් දැනුත් ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මකයි. බැංකු ණය ක්‍රමවේදයක් දැනටත් තියෙනවා.

නමුත් අපි එකක් පිළිගන්න ඕනේ සූර්ය බල කියන්නේ සීමාසහිත තාක්ෂණයක්. ඒක පුනර්ජනනීය තාක්ෂණයක්, ලෝකෙ අලුත් ප්‍රවණතාවයක්. නමුත් අපිට අව්ව තියෙන වෙලාවට විතරයි විදුලිය ගන්න පුළුවන්. එතකොට රාත්‍රිය අපිට විදුලි ගන්න බැහැ. එහෙනම් විදුලිය ස්ටෝර් කරන්න ඕනී, ඒක විශාල වියදමක් යනවා.  කොහොමහරි මෙගාවොට් 300ක හෝ 400ක විදුලිය ලබා ගන්න පුළුවන් විදුලි තාක්ෂණයක් අපට අවශ්‍යයි. එයින් තොරව පුනර්ජනනීය තාක්ෂණය හා සූර්ය බලයෙන් විතරක් අපට සම්පූර්ණ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අමාරුයි. ඒවායේ යම් තාක්ෂණික සීමාකම් තියෙනවා. හැබැයි ලෝකේ ප්‍රවණතාවය වෙලා තියෙන්නේ පුනර්ජනනීය තාක්ෂණයන්ට යෑම. අපිත් ඒ ගමන යන්න ඕන. නමුත් ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන විදුලි ජනන පද්ධතිය පවත්වාගෙන යෑම අවශ්‍යයි. මෙතැනදී ප්‍රශ්නයක් තියෙන්නේ ඇත්ත වශයෙන්ම ලංකාවේ විදුලි බල ශේෂ්ත්‍රය අපට ඕන විදිහට කළමනාකරණය කරගන්න බැරි භූ දේශපාලන ප්‍රශ්නයකට දැන් මැදි වෙලා තියෙනවා. මෙන්න මේ ගැටලුව තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් ඔය ගල් අඟුරු බලාගාරය සඳහා විවිධ යෝජනා ආවා, ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුණා. නමුත් අවසානයේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව චීනයට නොරොච්චෝල බලාගාර ඉදි කරන්න දෙන්න වුණා. මේනිසා අපිට ඇත්ත වශයෙන්ම ඒ වන විට ගල් අඟුරු බලාගාර වල තිබ්බ හොඳම තාක්ෂණය අපට ආවේ නැහැ. අපට ඒ බලාගාරයේ විවිධ තාක්ෂණික ගැටලු මතුවුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණ ප්‍රමිතිය අපට නැති වුණා. චීනයට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව විනිවිදභාවයකින් තොරව මේ ටෙන්ඩර් ලබා දීම නිසා මේ භූ දේශපාලන කලාපය තුළ තවත් බලවතෙක් වෙලා ඉන්න අපේ අසල්වැසි රට වන ඉන්දියාව මේ ක්ෂේත්‍රයට අපිට විවිධ බලපෑම් කරමින් ඉන්නවා. අපි දැක්ක සාම්පූර් බලාගාරය ඉන්දියාවේ සමාගමක් එක්ක ඉදිකරන්න කතිකාවතක් තිබ්බා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. දැන් එල්. එන්. ජී. බලාගාරය සම්බන්ධයෙනුත් එවැනි කතිකාවතක් ඇති වුණා. දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ කොළඹ වරාය සම්බන්ධයෙන් මේවගේ තත්ත්වයක් ඇතිවුණා.

සමහර අය කියනවා ලෝකයේ විදුලිය සඳහා වැඩිම මිල ගෙවන්නේ අපි කියලා. විදුලිය නිෂ්පාදනය කරන්න එච්චර විශාල පිරිවැයක් දරන්නේ නැහැ කියලා. මේ නවීන තාක්ෂණය දියුණු ලෝකයේ අපට ලේසියෙන් යන්න පුළුවන් දේවල් මොනවද? මේ ප්‍රශ්නයට තිබෙන විසඳුම මොකක්ද?

ඕනෑම රටක විදුලි ජනන සැලැස්ම එක ප්‍රභවයක් මත නොරැඳිය යුතුයි. විදුලි බලය ජනනය සඳහා ස්වභාවිකම අපට ලැබිලා තියෙනවා ජල සම්පත. අපි ජලයෙන් උපරිම මට්ටමෙන් ප්‍රයෝජන අරන් තියෙනවා. මං හිතන්නේ නෑ තව දුරටත් විශාල ජලාශ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට අපි මොනා උනත් ගල් අඟුරු බලාගාර හදලා තියෙනවා. තෙල් බලාගාර තියෙනවා අපිට. දැන් අපි සුළං බලාගාර, ඒ වගේම සුර්ය බල පද්ධතියෙන් සූර්ය බලාගාර, ඒ වගේම ස්වභාවික වායු විශේෂයෙන්ම විදුලි බලයට විතරක් නෙමෙයි ප්‍රවාහනය ටත් යොදාගන්න පුලුවන් දීර්ඝකාලීන සැලැස්මක් ඇතුව යොදා ගත්තොත්. එතකොට මේ හැම ප්‍රභවයකින්ම පිරිපුන් පද්ධතියක් තමයි ඕනෑම රටකට තියෙන්න ඕන. එහෙම තිබුණොත් විතරයි අපිට අඩු වියදමින් විදුලිය දෙන්න පුලුවන් වෙන්නේ. මේ තත්ත්වය අස්සේ අපි අපේ ජනන සැළස්ම නිසි විදිහට ක්‍රියාත්මක කළොත් අපිට මේ ප්‍රශ්නයෙන් ගැළවිලා අඩු මුදලකට පාරිභෝගිකයාට විදුලිය දෙන්න පුලුවන් වෙයි.

Social Sharing
නවතම සාකච්ඡා