අන්තර්ජාල මුල්‍ය වංචා කරුවන් ගැන මහබැංකුව හෙළිකරයි!

අන්තර්ජාලය පදනම් කරගත් මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ සමාජ ජාලා, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බවට  තම ආයතනයට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම වංචා ‌බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන  පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පවසන්නේ.

එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබා ගැනීමට මහජනතාව පොළඔවන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

1. හර/ණය කාඩ්පත් – කාඩ්පත් අංකය, පුද්ගලික හැදුනුම් අංකය (PIN),කාඩ්පත්වල පිටුපස සදහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා CVV,CVC හෝ CVS යන්නෙන් හැදින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක,කාඩ්පත් කල් ඉකුත් වන දිනය, ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් බාවිතා කළ හැකි මුරපද (One time password – OTP)

2.අන්තර්ජාල බැංකුකරණය (පරිශීලක නාමය, රහස් පදය OTP)

3.ජංගම බැංකුකරණය ( ගෙවීම් යෙදුම්) – පරිශීලක නාමය, රහස් පදය, OTP

පහත උපදෙස් පිළිපදින ලෙස  ශ්‍රී ලංකා මහ බැංකුව  ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.

1.මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ මුවාවෙන් සිදු කෙරෙන වංචාවන්ට ගොදුරු නොවී සිටීමට නිසි උත්සාහයක් හා සැලකිල්ලක් දැක්වීම,

2.මුල්‍ය ගනුදෙනුව සදහා ගිවිසුමකට එළඹීමට පෙර මහජනතාව මුල්‍ය ගනුදෙනුව සහ ණය දෙන පාර්ශයවයේ සම්පුර්ණ තොරතුරු ලබා ගැනීම,

3.සෑම විටම මුදල් ගනුදෙනුවකට එළඹීමේදී යම් නියාමන අධිකාරියක් මගින් නියාමනයකට ලක්කෙරෙන ආයතන කෙරෙහි විශ්වාසය තැබීම,

4.පහසු/ක්ෂණික ණය යෝජනා ක්‍රම සමග කටයුතු කිරීමේදී අතිශයින්ම සුපරික්ෂාකාරී වීම,

5.ගිවිසුම්වල නියමයන් සහ කොන්දේසි වල අන්තර්ගතයන් සම්පුර්ණයෙන් වටහා ගැනීම අපහසු නම් එවැනි ගිවිසුම්වලට එලඹීමෙන් වැළකීම.

පහත දැක්වෙන ලක්ෂණ සහිත පහසු/ක්ෂණික ණය යෝජනා ක්‍රම සදහා අයදුම් කිරීමේදී ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි 21 බ්‍රහස්පතින්දා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් ඉල්ලා සිටි.

1.පළමු ණය සදහා ශුන්‍ය පොලිය වැනි ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරන ආකර්ශනීය පාඨ,

2.ආරම්භක පොලී අනුපාත අඩු වුවද පසුවට ඉතා ඉහළ පොලී අනුපාත අය කිරීම,

3.අඩු ලියකියවිලි අවශ්‍ය යැයි කරන ප්‍රචාරයන්,

4.මුදල් ණය දෙන්නන් පිළිබද ප්‍රමාණවත් තොරතුරු සොයාගත නොහැකි වීම,

5.ණය දීර්ඝ කිරීම්  ඉල්ලා සිටිය හැකි අතර තත්වයන් නොතකා ඕනෑම  අවස්ථාවක ලබා දීම,

6.ඉක්මනින් අනුමැතිය ලබා දෙන බවට කරනු ලබන ප්‍රචාරයන්,

7.දුරකථනයේ ඇති සම්බන්ධතා ලැයිස්තුව,ජායාරූප, ලිපිගොනු, සහ ලේඛන වෙත ප්‍රවේශ වීමට අවසර ඉල්ලා සිටීම.

මෙවැනි මුල්‍ය  වංචා වලින් සුපරීක්ෂාකාරී වන ලෙස  ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන්  ඉල්ලා සිටින අතර, තමන්ගේ  රහස්‍ය  තොරතුරු විශේෂයෙන්ම  ගිණුම් පරිශීලක නාම, මුරපද, පුද්ගලික හැඳුනුම් අංක (PINs),එක්වරක් පමණක් භාවිතා වන  මුරපද (OTP),හෝ ගිණුම්වලට පිවිසීවම්දී ගිණුම් හිමියාගේ  අනන්‍යතාවය තහවුරු කිරීම සදහා භාවිත  කළ හැකි වෙත්  ඕනෑම රහස්‍ය තොරතුරක්  අනෙක්  පුද්ගලයන් සමග හුවාමාරු කර  නොගැනීමට     පියවර ගත යුතු බවත්,   දුරකතන භාවිත කරන්නන් විසින් ණය දෙන ආයතන වලට දුරකතනයේ  ගබඩා කර ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීමට අවසර ලබා නොදෙන ලෙසත්   මහ බැංකුව අවධාරණය කරයි.

තවද තම බැංකු හෝ බැංකු නොවන මුල්‍ය ආයතන වලින් කෙටි පනිවුඩ වැනි එසැනින්  ගනුදෙනු සම්බන්ධ තොරතුරු දැනුම් දීමේ සේවා සක්‍රීය කර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.

මෙම කෙටි පණිවිඩ සම්බන්ධතාවය මගින් මහජනතාවගේ ගිනුම් භාවිත කරමින් සිදු වන ඕනෑම  වංචනික ක්‍රියාවක් පිළිබද ක්ෂණිකව මහජනතාව දැනුවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ.

Central Bank exposes internet financial fraudsters

Central Bank exposes internet financial fraudsters

 

Social Sharing
නවතම