නැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!

උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද  නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින් දියත්වූ සාම පාදයාත්‍රාවේ නියමුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී තිබේ.

එසේ වෙතත්, එම දිනවලම පාද යාත්‍රාවට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ නායකත්වයෙන් පැවති ජන රැළි වලට එරෙහිව පොලිසිය පියවර ගන්නා බවක් දැනගන්නට නැත.

මුලතිව් අධිකරණ බල ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින්  නියෝග පනවා තිබියදීත් එම ප්‍රදේශයට ඇතුල්වූ විරෝධතාකරුවන්ට එරෙහිව විමර්ශන ආරම්භ කළ බවට මුලතිව් පොලිස්ථානාධිපතිවරයා පෙබරවාරි 8 සඳුදා දිනයේ බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

තහනම් නියෝග නොතකා විරෝධතා පා ගමන සංවිධානය කළ හා එයට එක්වු බහුජන නායකයන්ට  එම බී වාර්තාව මගින් නඩු පැවරීම දස දහස් සංඛ්‍යාත ජනකායක් එලි දැක්වූ විරෝධය මර්දනය කිරීමේ අවදානමක් මතු කරන බවට ඔවුහු බිය පල කරති.

චාල්ස් නිර්මලනාදන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජේන්ද්‍රන්, සෙල්වම් අඩෙක්කලනාදන්, විනෝ නෝහරාදලිංගම් ඇතුළු දේශපාලනඥයන්, ආගමික නායකයන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක් වෙත නඩු පැවරීමට මුලතිව් පොලිස්ථානාධිපතිවරයා  කටයුතු කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් පෙබරවාරි 3 බදාදා දියත් කරන ලද සාම පාද යාත්‍රාව පස්  දිනකට පසු යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩියෙන් නිම කළේ  ජනවාරි 6 ඉරිදාය.

නැගෙනහිර පළාතේ පොතුවිල්, කොක්කඩිචෝලේ සහ මඩකලපුව උසාවි වලට අමතරව උතුරේ යාපනය, මන්නාරම හා වවුනියාව, මුලතිව්  මහේස්ත්‍රාත් අධිකරණ වලින්ද දෙමළ විරෝධතා වලට එරෙහිව නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුනි.

කෙසේ වෙතත්, යාපනය සහ මල්ලාක්කම් මහේස්ත්‍රාත් වරුන් පොලිසිය ඉල්ලූ තහංචි නියෝගය ලබා දී තිබුනේ නැත.

අධිකරණ නියෝග කිහිපයක්ම ලබා ගනිමින් විරෝධතා පෙළපාලිය වළකාලීමට නිල ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් දිස්ත්‍රික්ක කිහිපයකදී  ගත් උත්සාහය පසුබස්සන්නට පාද යාත්‍රිකයෝ සමත් වූහ.

ගමන් මාර්ගය දිගටම පොලිස් හා හමුදා නිලධාරීන් විසින් විරෝධතාකරුවන් වීඩියෝ ගත කරනු මාධ්‍යවේදීන් විසින් වාර්තා කර තිබේ.

දයාසිරිට පොලිස් දයාව

නැගෙනහිරින් ගමන් ඇරඹි විරෝධතා පා ගමනට එරෙහිව රජයේ අමාත්‍යවරයකු වු දයාසිරි ජයසේකරගේ සහභාගිත්වයෙන් ජාතික නිදහස් දිනයේදී  යාපනයේ බස් නැවතුම්පොලේ සිට පුස්තකාලය දක්වා පා ගමනක් දියත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ක්‍රියා කර තිබුනත් එයට එරෙහිව පොලිසිය විසින් අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගත් බවක් මේ දක්වා වාර්තා වී නැත.

දෙමළ ජනතාවගේ ඉඩම් අහිමිකිරීම, උතුරු නැගෙනහිර හමුදාකරණය වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකිරීම, කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම, දෙමළ ජනතාවට එරෙහිව හතලිස් අවුරුද්දක් තිස්සේ යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මුස්ලිම්වරුන්ට එරෙහිව යොදා ගැනීම, අතුරුදහන්වුවන්ගේ ඉරණම හෙළි නොකිරීම, දේශපාලන සිරකරුවන් දීර්ඝ කාලයක් නඩු නැතිව සිරගත කොට තැබීම, දෙමළ මළවුන් සිහිපත් කිරීමේ අයිතිය ඇවිරීම හා මානව හිමිකම් උල්ලංඝන එළිදරව් කිරීමට වෙහෙසෙන මාධ්‍යවේදීන් හා බහුජන ක්‍රියාධාරීන් දඩයම් කිරීමට එරෙහිවීම සාම පාද යාත්‍රාවේ අරමුණු ලෙස උතුරු නැගෙනහිර සිවිල් සමාජ සංසදය විසින් එක්සත් ජාතීන් වෙත යවා ඇති සන්දේශයක දැක්වේ.

අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්, කතෝලික රදගුරුවරුන්, ක්‍රිස්තියානි පුජකවරුන් හා කන්‍යා සොයුරියන්, දෙමළ විපක්ෂ මන්ත්‍රීවරුන්, බහුජන ක්‍රියාධරයන්, මුස්ලිම් ප්‍රජා නායකයන්, වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් නායකයන් ට අමතරව පීඩාවට පත් සාමාන්‍ය වැසියන්ද දහස් ගණනින් විරෝධතාවයට එක්ව සිටියහ.

ගල් සහ ඇණ ගැසීම් 

උතුරු හා නැගෙනහිර ජීවත් වන දෙමළ, මුස්ලිම් ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස බලකරමින් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත්   වු  සාම පාද යාත්‍රාවේ තුන්වැනි දිනයේදී එයට ගල් මුල් ප්‍රහාර එල්ල කර කිසියම් පිරිසක්  කඩා කප්පල් කාරී ක්‍රියාවල නිරත වී තිබුනි.

පාද යාත්‍රාවේ තුන්වැනි දිනය  ත්‍රිකුණාමලයෙන් ගමන් අරඹා  එදින  සවස  උතුරු පලාතට කරා ලඟා විය.

සාම පාද යාත්‍රාව සමග ගමන් ගන්නා රථයකට ත්‍රිකුණාමලය ජුමාලියා ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වූ බව එහි සිටි පළාත් බද වාර්තාකරුවෝ  අනාවරණය කර තිබේ.

මේ අතර පාද යාත්‍රාව සමග ගමන් ගන්නා වාහන වල ටයර් වලට හානි සිදු කිරීමේ අරමුනින් ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රදේශයේ යාන් ඔය පාලම ඉදිරිපිට යුද හමුදා මුරපොලක් අසල පාර මැද යකඩ ඇණ සිටුවා තිබෙනු විරෝධතා කරුවන් පොලිසියට පෙන්වා දී තිබුනි.

එය දෙමළ හෝ මුස්ලිම් ජනයාගේ විරෝධත්වයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍රම් මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් හා කියා තිබුණි.

Social Sharing
නවතම