කොරෝනාවට වඩා ප්‍රවේශම් විය යුතු පිළිකාව දිනකට ජීවිත 38 ක් අහිමි කරයි.

ගෝලීය කොවිඩ් 19 වසංගතයෙන් වසරක පමණ කාලයක සිට හෙම්බත්ව සිටි ලංකාවාසී ජනතාවට එකල්හී තවත් රෝග ගැන මතක් වුයේ නැත. ඔවුන්ට දිනපතාම පාහේ දකින්නට, අසන්නට ලැබුණේ කොවිඩ් 19 තොරතුරුය.

නමුත් දැන් සමාජයේ සියලු දෙනාම පාහේ කථා කරන දෙයක් ඇත. ඒ පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු  වීම ගැනය. විෂ සහිත පොල්තෙල් මෙරටට ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් වුවත් අද වෙනතුරු මෙහි සත්‍ය තොරතුරු එළියට පැමිණ නැත.

මේ පොල්තෙල් වල අඩංගු වී තිබෙනවා යැයි කීවේ ඇෆ්ලොටොක්සින් නම් පිළිකා කාරකයය. මේ ගැන මෙරට ජනතාව කෙදිනකවත් අසා තිබුණේ නැත. නමුත් දැන් දිනපතා මාධ්‍ය මඟින් අසන්නේය. දකින්නේය.

මොනවද මේ ඇෆ්ලොටොක්සින්

මෙය දීලීරයක් මඟින් ඇති කරන පිළිකා කාරකයකි. ඇතැම් පිළිකා කාරක රත් කළ විට උෂ්ණත්වයේදී විනාශ වුවද මෙම පිළිකා කරකය එසේ විනාශ වන්නේ නැත.

මෙවැනි පිළිකා කාරක අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් ඒවා ශරීරයේ අක්මාවේ තැන්පත් වේ. පසුව නිදන්ගතව තිබී පිළිකාවක් ලෙස මතු විය හැකිය.

මේ පිළිකා කාරකය (ඇස්පර්ගිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ගිලස් පරපෝෂිත) මගින් නිපදවන අතර ඒවා පසෙහි වැඩෙන, දිරාපත් වන වෘක්ෂලතාදිය, පිදුරු සහ ධාන්‍ය වර්ග වේ. කසාවා, මිරිස් ගම්මිරිස්, කපු බීජ, මෙනේරි, රටකජු, සහල්, තල ඇට, බඩ ඉරිඟු, සූරියකාන්ත බීජ, ස්වීට්කෝන්, ගස් ගෙඩි, තිරිඟු සහ විවිධ කුළුබඩු වැනි නුසුදුසු ලෙස ගබඩා කර ඇති ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල ඒවා නිතිපතා දක්නට ලැබෙන බව අන්තර්ජාලයේ සඳහන් කර ඇත.

පොල්තෙල් රත් වෙලා

අවුරුදු සමය අත ළඟ තබාගෙන රට උණුසුම් කළ පොල්තෙල් සිද්ධිය නිසා මේ වන විට පොල්තෙල් බෝතලයක මිල රුපියල් 500 ආසන්නයටම ඉහළ නැඟ ඇත. ඒ මිනිසුන් හොඳ ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් සොයන්නට යාම නිසාය.

තවත් ප්‍රදේශ වල පොල්තෙල් හිඟයක් ඇති වෙමින් ඇත. තවත් සමහරුන්ට තෙල් කෑම කන්න අනිසි බයක් හටගෙන ඇත. ඒ පිළිකා සෑදේයි යන බිය නිසාය. ඔවුන්ගේ බිය සාධාරණය.  මේ දිනවල සමාජ මාධ්‍ය වල පොල්තෙල් සම්බන්ධයෙන් යන පෝස්ටු දුටු විට පොල්තෙල් වලට ගිය කලක් යැයි සිතෙන්නේය.

පොල්තෙල් වල පිළිකා කාරක හඳුනා ගන්නේ කෙසේද?

මේ පිළිකා කාරක වෙළඳපොලේදි හඳුනා ගැනීමට මහජනතාවට කිසිදු හැකියාවක් නැත. නමුත් ප්‍රමිති ආයතනයට, පාරිභෝගික වැටලීම් නිලධාරීන්ට, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මේ පොල්තෙල් වල විස සහිත බව හදුනා ගැනීමේ හැකියාව ඇත.

මහජනතාවට ඇත්තේ ප්‍රමිතියකින් යුත් පොල්තෙල් මිලදී ගැනිමේ හැකියාව පමණි.

පිළිකා වලට වැඩි අවධානයක්

පොල්තෙල් සිදුවීමත් සමඟ රටේ පිළිකා සම්බන්ධව දැඩි උනන්දුවක්, කථාබහක් නිර්මාණය වී ඇත. ඒ සංවාදය යහපත් ලෙස භාවිතා කිරීමට හැකි නම් අපට ජිවිත රැසක් බේරා ගැනීමේ හැකියාව ඇත. අතීතයේ මාරාන්තික රෝගයක් ලෙස පිළිකා රෝග සැලකුණි. නමුත් අද වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුවත් සමඟ බොහෝ පිළිකා කල් තියා හඳුනා ගතහොත් සුව කිරීමේ හැකියාව ඇත.

දිනකට ජිවිත 38 ක් අහිමි වෙනවා

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ සංඛ්‍යාලේඛන අනුව දිනකට පිළිකා රෝගීන් 38 ක් මිය යන අතර  අලුතෙන් රෝගීන් 80 කු වාර්තා වේ. මේ අනුව වසරකට ලංකාවේ පිළිකාව නිසා මියයන ගණන 14,013 කි.

වැඩියෙන්ම මේ රෝගයට ගොදුරුව සිටින්නේ කාන්තාවන්ය. 2015 වසර වන විට කාන්තාවන් 15,046 ක් පිළිකා රෝගයෙන් පීඩා විඳින අතර ඉන් පිළිකා 3592 ක්ම පියයුරු පිළිකාය. තයිරොයිඩ් පිළිකා 1959 කි. මහා අන්ත සහ ගුද මාර්ග ආශිත්‍ර පිළිකා රෝග 1128 ක් වන අතර ගැබ්ගෙල පිළිකා 1008 කි. ඩිම්බකෝෂ පිලිබඳ පිළිකා 975 කි. කාන්තාවන්ට බහුලව ඇත්තේ මෙම රෝග සම්බන්ධ පිළිකාය.

පිරිමි පාර්ශවයට බහුලව ඇත්තේ මුඛ ආශිත්‍ර පිළිකාය. ඒ 2201 ක් ලෙසිනි. දෙවනුව ඔවුන්ට වැඩියෙන්ම ඇත්තේ පෙනහලු පිළිකා වන අතර ඒ 1160 කි. මහා අන්ත සහ ගුද මාර්ග  ආශිත පිළිකා 1063 ක්ද, ගලනාල සම්බන්ධ පිළිකා 1032 ක්ද හඳුනාගෙන ඇත. 2015 වසරේ පිරිමි පුද්ගලයින් 13,921 කු පිළිකා රෝගීන් ලෙස හඳුනාගෙන ඇත.

2015 වසර වන විට පිළිකා රෝගීන් 28,967 ක් වාර්තා වී ඇත. ඉන් පිරිමි පුද්ගලයින් 13,921 ක්ද කාන්තාවන් 15,046 ක්ද වේ. මෙය වසරින් වසර වැඩි වීමක් මිස අඩු වීමක් නම් දක්නට නැත.  2015 සිට වසර 30 ක් ආපස්සට ගිය විට එනම් 1985 දී අපට වාර්තා වන්නේ පිළිකා රෝගීන් 5012 කි. එය 1990 වන විට 6063 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 1995 දී 7325 ක් වාර්තා වී ඇත.

2000 වසර වන විට එම සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් 10, 925 ක් වාර්තා වී ඇත. 2005 වසරේ 13,372 ක්ද, 2010 වසරේ 16,963 ක් ලෙසින් සටහන් වී ඇත.

‍2014 වසර වන විට පිළිකා රෝගය නිසා සිදුවන මරණ    13514  { 7459  (Male), 6055 (Female)}  ක් වාර්තා වී ඇත. මෙය 2001 වසර වන විට 4375 අගයක පැවති නමුත් වසරින් වසර සිදුවන මරණ සංඛයාව ඉහළ ගොස් ඇත.

පිළිකා ව්‍යාප්තිය

සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇති පරිදි දිවයිනේ යාපනය (තෙලිප්පලේයි), අනුරාධපුර, මඩකලපුව, කුරුනෑගල, මහනුවර, බදුල්ල, රත්නපුර, කොළඹ (මහරගම), ගාල්ල ( කරාපිටිය) යන ප්‍රදේශ වල වැඩි වශයෙන් පිළිකා රෝගීන් බහුල වශයෙන් හමු වේ. ඒ නිසාම මේ දිස්ත්‍රික්ක වල ප්‍රධාන පිළිකා රෝහල් පිහිටුවා ඇත.

මීට අමතරව වව්නියාව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, හලාවත, ගම්පහ, රාගම, කෑගල්ල, අම්පාර, මොණරාගල, හම්බන්තොට, මාතර, කලුතර, මාළඹේ, අවිස්සාවේල්ල යන රෝහල් වලද පිළිකා රෝගී සායන පිහිටුවා ඇත.

ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙන පරිදි මේ පිළිකා රෝග වලට මූලික ලෙස හේතු වී ඇත්තේ මත්පැන්, දුම්පානය, අක්‍රමවත් ආහාර රටා, ආහාර වල ඇති ගැටලු, අධික ලෙස තෙල්, සීනී, ලුණු භාවිතය, විවිධ රසකාරක යෙදු ආහාර වර්ග භාවිතය, යහපත් සෞඛ්‍ය පුරුදු වලින් මිදීම ආදි කරුණුය.

එමෙන්ම පෙර සඳහන් කළ පරිදි මේ පිළිකා සෑදුනු සැවෝම මිය යන්නේ නැත. කල් තියා රෝගය හඳුනාගතහොත් එය 100% ක් සුව කිරීමේ හැකියාව ඇත. මේවන විට පියයුරු පිළිකා සෑදුනු කාන්තාවන් 10,000 කට අධික පිරිසක් සුවය ලබා ඇතී බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.  ඒ නිසා සුවනාරී සායන වලට කාන්තාවන් යොමු වී එහි පරීක්ෂණ සිදු කර ගැනීමෙන් කල්තියා රෝගය හඳුනාගත හැකි බව සිහිපත් කර සිටියි.

තොරතුරු සැපයීම –

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය  විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා

සටහන – ශානිකා

Social Sharing
නවතම විශේෂාංග