අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය  කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ විධිවිධාන පරිදි ඇප ලබා ගැනීම සදහා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු නිසා සැකකරුවන්ට සහ චුදිතයන්ට දැඩි පීඩාවකට ලක්වීමට සිදුව ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

විශේෂයෙන්ම, අභියාචනාධිකරණය කොළඹ පිහිටා තිබීම හේතුවෙන් ඉතා දුර ප්‍රදේශයක පදිංචි සැකකරුවන්ට අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බැවින් අභියාචනාධිකරණය වෙනුවට ඇප ලබා  දීමේ අධිකරණය මහාධිකරණය වශයෙන් සංශෝධනය කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවයි රජය පවසන්නේ.

එසේම “නඩු විභාගයක්  අවසන් වන තෙක් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තැබිය යුතුය” යන විධිවිධානය “අධිකරණය විසින් සාධාරණ යැයි සලකනු ලැබිය හැකි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිය යුතුය” යනුවෙන් සංශෝධනය කිරීම සුදුසු බවත් හදුනාගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ජනවාරි 11 සදුදා රැස්වූ  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

witness and victim protection act sri lanka

Social Sharing
නවතම