පොලිස්පතිගේ නොසැලකිල්ල නිසා මහර ගැටුම ඇති වුවාද?

බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (14) වන විට 3,000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි. එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර කාන්තා රැඳවියන් ගණන 189 කි. ඒ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඒ අතර වේ. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 103 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටිති.  මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500 ක් පමණ බන්ධනාගරගතව සිටින අතර ඉන් 8500 ක් හෙරොයින් සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වුවන් වේ.

පහුගිය මාර්තු 29 දා මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙන්නට හේතු වුයේද මේ කොවිඩ් වසංගතයය. ඒ බන්ධනාගාර වල පැතිර යන වෛරසය නිසා බියට පත් වූ රැඳවියන් PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලා සීටිම නිසාය. ඔවුන්ට නිසි ආහාර වේලක් ඉල්ලු නිසාය. නමුත් අවසානයේ වුයේ ජිවිත 11 ක් අහිමි වීමය.

මේ අතර මහර කැරැල්ලේදී මහරට කැඳවා සිටි වටරැක බන්ධනාගාරයේ ජේලර්වරයෙකු නිරෝධායනය වීමට නිවාඩු ලබා දීමේදී ඔහු සහෝදර නිලධාරීන් සිප ගනිමින්, ඇඳවල් වල පෙරලෙමින් මම උඹලාට කොරෝනා බෝ කරනවා කියා කලහාකරී ලෙස හැසිරී තිබුණේද මේ නිලධාරීන් තුල පවත්නා අධික අසහනය නිසාය.

මන්ද මේ වන විට ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති හෙයිනි. එහෙත් නිවාඩු ලබා ගන්නා පුද්ගලයා කෙසේ හෝ නිවාඩු ලබාගෙන යන බවත් සැමදා සේවය කරන්නාට නිවාඩු අහිමි වී ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් චෝදනා කර සිටියි. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම්ද අහිමි වීම මත එම නිලධාරීන් දැඩි ලෙස පීඩනයට පත්ව ඇත.

ඔවුන් ඉල්ලා සිටින්නේ කොවිඩ් ආසාදිත හා නිරෝධායනය වන බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වෙනම මධ්‍යස්ථානයක් ලබා දෙන ලෙසටය. ඒ රැඳවියන් සමඟ සිටිමට නොහැකි බව පවසමිනි. මේ අතර නිලධාරීන් තවත් චෝදනාවක් නඟා සිටියි. ඒ ලබා දෙන ආහාර අනුභව කළ නොහැකි බවය. මෙය රැඳවියන්ද කියා සිටින කරුණකි.

මේ වන විට බෝගම්බර බන්ධනාගාරය කොවිඩ් ආසාදිත කාන්තා රැඳවියන් වෙනුවෙන් පමණක් වෙන් කර ඇති අතර මහර බන්ධනාගාරය කොවිඩ් ආසාදිත රැඳවියන් වෙනුවෙන් වෙන් කර ඇත. ඊට අමතව වැලිකඩ බන්ධනාගාරයේ රෝහල කොවිඩ් රෝහලක් ලෙස ස්ථාපිත කර ඇත.

මේ වන විට බොරැල්ල ආයුර්වේද රෝහලෙන් දේශීය ඖෂධ හා මුඛ සෝදන  කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට සහ වැලිකඩ බන්ධනාගාර රෝහලට කිලෝ 16 හා කිලෝ 8 ක් වශයෙන් එක් වේලක් සඳහා ලබා දීම සිදු කරනු ලබයි. දේශීය වෛද්‍යවරුන් පවසන්නේ මේ වන විට එහි රෝගීන් වාර්තා වීම අඩු වෙමින් පවතින බවය.

මේ අතර කෑගල්ලේ ධමිම්ක බණ්ඩාර නැමැති පුද්ගලයා නිපදවන පැණියද බන්ධනාගාර රැඳවියන්ට ලබා දීමට මේ වන විට පියවර ගනිමින් සිටියි. ඔහු පවසන්නේ කැමති අයෙකුට මේ පැණිය භාවිතා කළ හැකි බවය. නමුත් ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ නිසි මාත්‍රාවකින් තොරව අධි මාත්‍රා ගතහොත් එය ශරීරයට විෂ බවය.

කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වූ පසු ඔක්තෝම්බර් 12 දින වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් රඳවා තිබි ඇත. නමුත් පවත්නා තදබදය සැලකිල්ලට ගෙන දෙසැම්බර් 05 වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කර ඇත. දින කිහිපයක් තුළ 6000 ක් පමණ රැඳවියන් ඇප මත මුදා හැර තිබේ. මේ අතර තවත් සුලු සුලු වැරදී සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පිලිබඳවද ඉදිරියේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇප මත මුදා හැරීම පිලිබඳ අවධානය යොමු කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුල දැනට උද්ගත වී ඇති වාතාවරණය අනුව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේනතුව මගින් ලබා දෙන සේවාවන් සම්බන්ධව කාලීන තොරතුරු විනිවිධභාවයකින්  යුතුව හා විශ්වාසනීය ලෙස සමාජ ගත කිරීම පෙරදැරිව බන්ධනාගාර කළමනාකරණ හා  සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශන ලෙස දැනට බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) ධූරයෙහි සේවය කරන චන්දන ඒකනායක මහතා පත් කිරීමට රාජ්‍ය අමාත්‍ය  ලොහාන් රත්වත්තේ මහතා තීරණය කර ඇත. ඔහුගේ එම පත්වීම ඊයේ (14)  දින ඔහු වෙත පිරිනමන ලදී.

මේ අතර නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ දින ප්‍රකාශ කර සිටියේ බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නොමැති බවය. මන්ද මෙම බන්ධනාගාර වල තදබදය අඩුකිරීමට තමන් අප්‍රේල් මාසයේ සිටම පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් නමුත් ඔහු එය නොවැම්බර් මස වන තුරු  ක්‍රියාත්මක නොකිරීම නිසාය. එදා බන්ධනාගාර තදබදය අවම කිරීමට පියවර ගත්තේ නම් පහුගියදා මහර එවන් සිදුවීමක් සිදුනොවන්නට ඉඩ තිබු බවද නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම