බුර්කා තහනම පස්සට ගියේ ජීනිවා නිසාද?

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් ඊට තමන්  පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා පසුගිය සිකුරාදා අත්සන් තැබූ බවත් මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය සරත් වීරසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම රට තුල ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් 2000 කට  අධික සංඛ්‍යාවක් ඇති බවත් ඒවා නිසි නියාමනයක් නොවීම නිසා ඉදිරියේදී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු පවසා තිබුණි.

මේ අතර පකිස්ථාන තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ බුර්කාව ඇතුළු මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසෙන ඇඳුම් තහනම් කිරීමට කටයුතු කිරීම රටේ සුළු ජාතීන් නොසලකා හැරීමක් බවය.

එසේම රජයේ මෙන්ම විපක්ෂයේ ඇතැම් පාර්ශව විසින් පෙන්වා දී තිබුණේ  ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනාවක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක බුර්කාව තහනම් කිරීම කිසිසේත් සුදුසු නොවන බවකි.

කැබිනට් මණ්ඩල සාකච්ඡාව මෙවර පැවතුණද එයට මෙම බුර්කා තහනමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙතැයි සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි නමුත් එය ඉදිරිපත් වුයේ නැත. ඒ නිසා මේ ගැන විවිධ මතවාද ඉදිරිපත් වන්නට විය.

මෙහි පළමු නිවේදනය නිකුත් කර සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. ඒ ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනමක් පැනවීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නොමැති බවත් එය හුදෙක් යෝජනාවක් පමණක් බවත් සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරිමය. එසේම මෙම කරුණ දැනට සාකච්ජාවට භාජනය වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා  ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති බවත් අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරන බවත්  විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම නිවේදනයෙන් කිසි විටෙකත් බුර්කා තහනම් කරන්නේ නැති බව පවසා නැත. මේ පිලිබඳ සාකච්ඡා වෙමින් පවතින බව පමණක් කියා ඇත.

ඒ අනුව ජීනිවා සැසිය අවසන් වු පසු මෙම බුර්කා තහනම් කිරිමේ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වීය හැකිය.  එතෙක් රජය බුර්කා තහනමේ යෝජනාවට කෙටි විවේකයක් ලබා දුන්නා විය හැකිය.

-ශානි-

Social Sharing
නවතම