කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?

කොරෝනා වෛරසය  ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ  මෘතදේහ  භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය.

කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි.

ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල  ගුණවර්ධන පවසන්නේ ඊට අවසර ලබා දීම සඳහා තවත් සතියක් විතර ගතවෙන බවකි.

මෙම මෘත දේහ ආදාහනය හෝ භූමදානය සඳහා අවසර ලබා දෙන ගැසට් නිවේදනය නිකුත් වී තිබෙන අතර එහි සියලුම බලතල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරා තිබේ.

ඒ අනුව නිසි බලධරයා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විධිවිධානයන්ට අනුව සුසාන භූමියක හෝ සුදුසු ස්ථානයක නිසි බලධරයාගේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු වෙයි.

කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා ඊට අදාළ විද්වත් කමිටුව ඊයේ (27)  රැස් වි ඇත. එහිදි තීරණය වී ඇත්තේ කොරෝනා මෘතදේහ භූමදාන මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කිරීමටය.

මෙහිදී අදාළ භූමී හඳුනාගැනීම සඳහා ඉදිරියේදී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත. මේ සඳහා ඔවුන්ගේ අවධානයයොමු වී ඇත්තේ දුපත් වෙතය. භූමිය හඳුනාගැනීමෙන් පසු කොරෝනා මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් අවසන් චක‍්‍රලේඛය නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව නැවත වරක් මෙරට මුස්ලිම් ජනතාවට තවත් කාලයක් බලා සිටීමට සිදුවේ.

කිසිදු මූලික සැලසුමක් නොමැතිව කඩිමුඩියේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර ලබා දෙමින් ගැසට්ටුව නිකුත් කළේ ඇයිද යන්න මෙහිදි රජයෙන් විමසිය යුතු ප්‍රශ්නයකි. තවම කිසිදු මූලික සුදානමක් මෙයට නැතිනම් ඒ සියල්ල තෝරාබේරා ගැනීමෙන් පසු ඔවුන්ට මේ ගැසට්ටුව නිකුත් කිරිමට තිබුණි. දැන් සිදුවුයේ නිකරුණේ ජනතාවට බලාපොරොත්තුවක් දී නැවත එය උදුරා ගැනීමක් වැනි ක්‍රියාවකි.

ජීනිවාහි පැවත්වෙන මානව හිමිකම් සමුලුව ඉලක්ක කරගෙනද මෙම ගැසට්ටුව නිකුත් වුවාද යන්න මෙහිදි සැකයට ලක් වෙන කරුණකි. මන්ද ජාතික සාම මණ්ඩලයද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ ආණ්ඩුව ගත් මෙම භූමිදානයට අවසර දීමේ තීරණය ජිනීවාහිදි ධනාත්මක ලෙස අපට බලපෑම් කළ හැකි බවය.

එසේනම් මෙය යළිත් ඇස් බැන්ඳුමක්ද?

-ශානි-

Social Sharing
නවතම