සංස්කෘතියක් නැති අයවැයක්!

පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය.

පොදු ජන පෙරමුණේ අයවැය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ 2021 – 2023 මැදි කාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැයක් ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් එය ඉදිරිපත් කිරීමේ හැඳින්වීමේදීම සඳහන් කරනු ලැබූවා.

මෙම අය වැය ඉතිහාසයට එක්වන්නේ සංස්කෘතිය සඳහා තම ප්‍රතිපත්තියක් හෝ අරමුණක් නොමැති අයවැයක් ලෙසයි.

නමුත් මේ වන විට දෙවන වර අය වැය කියවා ඡන්ද විමසීමෙන් පසුව වුවත් විපක්ෂය විසින් තමන්ට දේශපාලන වශයෙන් ඉතා වැදගත් වූ මේ තත්ත්වය ප්‍රයෝජනයට ගැනීම සඳහා අධ්‍යයනයක් හෝ සැලසුමක් තිබුණේ නැත.

නමුත් 69 ලක්ෂයේ පදනමේ යම් කොටසකගේ හෝ අවධානයට ලක්වීමට තරම් වුවමනාවක් ඔවුන්ට නොවීය. විපක්ෂයේ කිහිප දෙනෙක් පමණක් හොම් වර්ක් කර විවාදයන්ට පැමිණෙන අතර අනෙක් අයට එසේ වුවමනාවක් නැත.

රටේ අගමැතිවරයාට වගකීම් බොහෝ ඇත. ඔහුට ඒවා සංවිධානාත්මකව කිරීමට ඔහුගේම පුතා යෝෂිත රාජපක්ෂගේ සහය ද ලබා දී ඇත. මුදල් අමාත්‍යංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, නාගරික හා නිවාස අමාත්‍යංශය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යටතේ ඇත.

එම අමාත්‍යංශයන් සඳහන්ව ඇති පරිදිම එහි සංස්කෘතික අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයකි. එහි විෂය පද්ධතිය ඉතා විශාලය.

පැතිරුණු එකිනෙක විෂයයන්ගෙන් පිරී ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය, බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාව, ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානය අයත්ව ඇතැයි ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙනෙන පරිදි පෙනේ. අමාත්‍ය නමුත් දැනට පවතින ක්‍රමය අනුව ඒවා හෙට ද වෙනස් විය හැකිය.

නමුත් මේසා පැතිරුණු අංශයන්ගෙන් යුතු විෂය පද්ධතියකින් යුත් සහ ජනතාවගේ ජීවිතයට සමීප සංස්කෘතික අමාත්‍යංශය සඳහා පාර්ලිමේන්තුවේ දී එක පේලියකවත් ප්‍රතිපත්තියක් යෝජනා නොවීම විශ්මය ජනකය.

අයවැය යනු වචන හෝ අකුරු නොවේ. රටක ආර්ථික ප්‍රතිපත්ති මාලාවයි. මෙයින් පෙනී යන්නේ රටට ලබන වසරට සංස්කෘතික ප්‍රතිපත්තියක් නොමැතිවීමයි.

වියත් මඟ, එළිය, වැනි සංවිධානත්, බෞද්ධ භික්ෂූන් ඇතුළු විශාල පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නව රජය පත් කරනු ලැබුවේ ආර්ථික සමෘද්ධිය සඳහා පමණක් නොවේ. ඔවුන් ගේ විශාල බලාපොරොත්තුවක් තිබුණේ දේශීය සංස්කෘතිය පුබුදුවාලීමයි. එම ගොඩනැගීමට බලාපොරොත්තු වූ සංස්කෘතික ප්‍රමෝදය කුමක්ද යන්න ගැන අපට ගැටළුවක් ඇතත්, එවැනි සංස්කෘතිකයක් ගැන හෝ මෙහි සඳහනක් නැත.

එසේවීම ගැන කම්පාවක් හෝ සංවාදයක්වත් නැත. මේ රජය පිහිටුවීමට දරදිය ඇද්ද නළු නිළියන්, සංගීතඥයන්, සංස්කෘතික විශේෂඥයින් ද නිහඩය. ශාරීරික සුවතා මංතීරයන්ට මිලියන ගණන් වෙන් කිරීම ගැන කතා කරන මුදල් අමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යංශයන්ට වෙන් කිරීම ගැන සාකච්ඡා නොකරයි.

ඓතිහාසිකව ඉතාමත් දුර්වලම අමාත්‍යංශයකි සංස්කෘතික අමාත්‍යංශය. වෙන් කරන මුදල පවා වියදම් කරගත නොහැකි නිලධාරීන් එහි සිටියි. ඒ ගැන සැලැස්මක් නැත. හොඳම උදාහරණය කඩා දමන ලද ජෝන් ද සිල්වා රඟහලයි.

ලංකාවේ නාට්‍ය කලාවේ කේන්ද්‍ර ස්ථානය වූ එය තවමත් අතරමඟ ය. ලෝකයේ චිත්‍රපට සංස්ථාව ගතහොත් වඩාත් නවීනතම කලාවක්, කර්මාන්තයක් බවට අසල්වැසි ඉන්දීයාවේ පවා පත්වී ඇති සිනමාවට වගකියන යල්පැන ඇති සංස්කෘතික මධ්‍යස්ථානයකි

දර්ශනයක් නැති, සැලසුමක් නැති සුදු අලියෙකි. ඒ හැර ඉහත සඳහන් ඕනෑම සංස්කෘතික අංශයක දී කළ හැකි දේ බොහෝය. ඒ ගැන කිසිවෙකු කතා නොකරයි. 2500 වසරක සංස්කෘතියක් ගැන තවමත් කතා කරන්නේ ජනතාව හා කලාකරුවන් ගොනාට ඇන්දවීමට මිස ඒ ගැන අවබෝධයක් ඇති නොවේ.

රටක් ලෙස ඉදිරියට යෑමට නම් සංස්කෘතික අමාත්‍යංශයට නව දර්ශනයක් තිබීම අත්‍යවශ්‍ය වනු ඇත. ලංකාව තුළම බිහිව ඇති නව සංස්කෘතික ප්‍රවාහයන්, නව සංස්කෘතික කුළකයන් හා ප්‍රබෝධයන් ගැන දර්ශනයක් ඇතිව ක්‍රියාත්මකවීම අමාත්‍යංශයෙන් වහාම සිදුවිය යුතුය. නොමැති නම් ඒ ඒ සංස්කෘතික අංශයන්ට අයත් රාජ්‍ය ආයතන කාලයේ ඩිජිටල් ආකාසය මත පාවී යනු ඇත.

ප.ලි. – නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අංක 2202/25 යන ගැසට් පත්‍රය යටතේ ජනාධිපතිවරයා විසින් පහත සඳහන් සංස්කෘතික ආයතනයන් පවරාගෙන ඇත. ටවර් හෝල් රගහල පදනම, ජාතික කලා මණ්ඩලය, ග්‍රාමෝදය කලා මණ්ඩලය, ගාලු උරුමය පදනම, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි-සිනමා උද්‍යානය, ජාතික ප්‍රසංගික කලා මධ්‍යස්ථානය (නෙළුම් පොකුණ), පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, අපගේ ගම යනු එම පවරාගත් ආයතනයන්ය.

සුදේශ් ද සිල්වා

Social Sharing
නවතම විශේෂාංග