බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට ලබා දුන් සහතිකය සුදු අලියෙක්ද?

බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ ඉකුත් 24 දා පස්වරුවේ 07 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ බෞද්ධ උපදේශක සභාව රැස් වු අවස්ථාවේදීය.

රටේ අතිවිශාල ජනතාවගේ බලපාරොත්තුව වූයේ ජාතික චින්තනයක් මත පදනම්ව තීන්දු තීරණ ගන්නා නායකත්වයක් බවත් රැකියා, තාන්න, මාන්න, වරප්‍රසාද වැනි පටු අභිමතාර්ථ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා නොකළ අතර එවැන්නන්ගේ සහය ජනාධිපතිවරණයට පෙර සිටම රාජපක්ෂ මහතා  බලාපොරොත්තු නොවූ බවද මෙහිදී  මහා සංඝරත්නය සිහිපත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

2015 වසරෙන් පසු බිඳ වැටුණු ජාතික ආරක්ෂාව මත්ද්‍රව්‍යයන්ගෙන් සහ පාතාල ක්‍රියාකාරකම්වලින් තොර විනයගරුක සමාජයක්, නාස්තිය, දූෂණය පිටුදැකීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, රටේ අනන්‍යතාව රැකගත් විදේශ ප්‍රතිපත්තියක් ජනතාවගේ අපේක්ෂාව වූ බවත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙළක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු රටේ ගමන් මග වෙනස් කරන ක්‍රියාපිළිවෙතකට කොවිඩ් වසංගතය ඇතුළු බාධක රැසක් මැද අඩිතාලම දැමීමට හැකි වීම පිළිබඳව මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළ බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් සෙසු ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගත වූ කාලය තුළ ජනතාව ලැබූ තවත් ජයග්‍රහණයක් බවද එහිදි ප්‍රකාශ කර තිබුණි.

උපදේශක සභාව අමතක කළෙ දේ

මෙම බෞද්ධ උපදේශක සභාවට පහුගියදා දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් කටුනායක ආරම්භ කළ බව අමතකව ගොස් ඇත. ගව ඝාතනය තහනම් කරන බවට මැතිවරණ පොරොන්දු දී ජනතාව මුලාවට පත් කර ගව ඝාතකාඝාරයක් ඇති කිරිම මේ බෞද්ධ උපදේශක සභාවට අමතක වී ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍යයන්ගෙන් තොර පාතාල ක්‍රියාකාරකම් වලින් තොර විනය ගරුක සමාජයක් ජනාධිතිවරයා බිහි කර ඇතැයි මෙම බෞද්ධ උපදේශක සභාව පවසා සිටින්නේ රටේ සිදුවන සොරකම් මේ වන විට ඉහළ යමින් තිබෙනා බව නොදැන විය හැකිය.

කොවිඩ් වසංගතය පාලනය කර ගත නොහැකි මොහොතක ජනතාවගේ කුසගින්න දැඩිව නැගී සිටින අවස්ථාවක සොරුන් බිහි වෙමින් පවතින්නේය. පොල් ගෙඩිය රුපියල් 120 ට, හාල් කිලෝව රුපියල් 125 ට ඉහළ ගිය කළ දුප්පත් ජනතාවට ජිවිතය ගැට ගසා ගන්නේ දස අතේ කල්පනා කරති. සන්තකයේ තිබු කණකර උකස් කර මුදල් ලබා ගත්තද ඒවා අවසන් වන විට ඔවුන්ට උකස් කිරීමට දෙයක්ද නැත්තේය.

මේ වන විට රන් මාල සොරකම් කිරීම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද පිළිගන්නා දෙයකි. ඒ් බව ඔහුම මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එමෙන්ම සිර ගෙවල් රැඳවියන්ගෙන් පිරී ඉතිරි යන්නේ මේ සමාජයේ විනය ගරුක බව නිසා විය හැකිය. රජයේ ආයතයක් භාරයේ සිටින පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කරන්නේ ඒ විනය ගරුක බව ඉහළ යාම නිසාය.

වසංගතයකින් මිය යන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පිලිබඳ තවම සෘජු තීරණයක් රජයට ලබා දීමට නොහැකි වී ඇත්තේ මේ ජාතික ප්‍රතිපත්ති නිසා විය හැකිය.

ගත වූ වසර තුල ආපසු හැරී බලන්නේ නම් තවත් ඕනෑ තරම් නිදසුන් ඉදිරිපත් කළ හැකිය. මේ සත්‍ය රටේ බොහෝ දෙනෙක් මේ වන විට තේරුම් ගනිමින් සිටිති.

නමුත් බෞද්ධ උපදේශක සභාවට පමණක් එය තේරුම් ගැනීමට නොහැකි වීමත්, රජයේ අඩුපාඩු, දුර්වලතා ජනධිපතිවරයාට පෙන්වා දීමට නොහැකි වීමත් බෞද්ධයින් වශයෙන් සැබවින්ම අප කණගාටු විය යුතුය.

Social Sharing
නවතම