බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු වෙඩි පහරින් මරුට!

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ  රඳවා සිටි සැකකරුවන් පස්  දෙනෙකු අද  (18) අලුයම එකට පමණ  බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කළ අවස්ථාවේ එක් රැඳවියෙකු  තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්ව ඇත.

රැඳවියන් පිරිස අඩි 30 ක් පමණ උසැති බන්ධනාගාර තාප්පය මතට නැග පළා යාමට උත්සහ කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමක්ද සිදුකර තිබේ.

එම අවස්ථාවේ රැඳවියන් තිදෙනෙකු තාප්පයෙන් පිටතට පැන තිබෙන අතර අනෙක් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටතට පනින ලද තිදෙනා අතරින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ එක් අයෙකු මියගොස් සිට ඇත.

තුවාල ලත් අනෙක් පුද්ගලයා විසිහතර  වියේ පසුවන අතර, ඔහු තඹුත්තේගම ප්‍රාදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයින් බවට සැකකරන පුද්ගලයින් ඇතුළු කරන වාට්ටුවකට යොමුකර ප්‍රතිකාර ලබාදෙන බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂක ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

බන්ධනාගාරයෙන් පිටතට පනින ලද තිදෙනා අතරින් එක් අයෙකු බෝගම්බර පොලිස් නිල නිවාස පිහිටා ඇති ප්‍රදේශය ඔස්සේ පළාගොස් තිබෙන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබෙන බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.

බන්ධානාගාරයෙන් පළා යෑමට උත්සහ රැඳවියන් අතරින් අත්අඩංගුවට ගත් තිදෙනා ගෙන් එක් අයෙකු බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි විශාල ගසකට  නැග විරෝධාවක් ආරම්භ කර තිබිණි.

නදීක දයා බණ්ඩාර  – මහනුවර

Social Sharing
නවතම