‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!

මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා…මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: “I can’t breathe” – ”මට හුස්ම ගන්න බැහැ…”, ඊළගට ලොව පුරාම පැතිරුණු වර්ගවාදයට එරෙහි පෙළපාලි, මහජන නැගිටීම්…’Black lives matters’ උද්ගෝෂණ ව්‍යාපාරය…!!! ඒවා තවමත් නැවතිලා නැහැ.

මැයි 25 George Floyd මරාදැමීමට එරෙහිව මතුවූ එම උද්ගෝෂණ රැල්ල දැන් වෙද්දී එක පැත්තකින් කළු ජාතිකයින්ව පොලිස් වෙඩි පහරින් මරා දැමීමට එරෙහිව ඇතිවෙන උද්ගෝෂණවල පොදු සලකුණ බවට පත්වෙලා තිබෙනවා. ඒ කියන්නේ පසුගියදා ඇමරිකාවේ Wisconsin වල තවත් නිරායුධ කළු ජාතිකයෙක්ව එයාගේ ළමයි ඉස්සරහ වෙඩි තියලා මරලා දැම්මහම, ඊට එරෙහිව ඇතිවුණු උද්ගෝෂණ ව්‍යාපාරයේත්, ඊට කලින් සිදුවුණු තවත් එවැනිම කළු ජාතිකයින්ට වෙඩි තැබීම්වලට එරෙහි උද්ගෝෂණ ව්‍යාපාරවලත් පොදු සලකුණු බවට පත්වුණේ George Floyd, සහ ඔහු මරාදැමූවිට ඇතිවූ  ආකාරයේ උද්ගෝෂණ…

ඇත්තටම, දැන් එංගලන්තය වගේ රටවල George Floyd ගේ මරණයත් සමග පෙරට පැමිණි ‘Black lives matters’ උද්ගෝෂණ ව්‍යාපාරය, George Floyd ගේ මරණයටත් වඩා එහා ගිය විශාල කතිකාවක් නිර්මාණය කිරීමට සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම එංගලන්ත ඉතිහාසය තුල ලොව පුරාම විවිධ ජන කණඩායම්වලට සිදුකල විවිධ අපරාධයන් පිළිබදව නැවත සමාජය අවධානය යොමුකරන, වහල් වෙළදාම සහ විවිධ ජන කොටස්වල සම්පත් මංකොල්ලකමින්, විවිධ අපරාධයන් මගින් මුදල් රැස්කරගනිමින් ධනවතුන් ලෙස මතුවෙමින්, අතිවිශාල මාලිගා තනමින්, මහා පරිමාණයෙන් දේපල රැස්කරමින්, සහ සිය ආදායමෙන් කොටසක් පොදු වැඩවලට යොදවමින් මෙරට ඉතිහාසය තුල 17 වෙනි සියවසේ සිට මුල්බැසගත් නව ප්‍රභූ පැලැන්තියකට අයත්වූ සියල්ලන්ගේ ජරාජීරණ ඉතිහාසය ගැන නැවත අවධානයට යොමුකරන තත්වය ගමන්කර තිබෙනවා.

පසුගියදා සුප්‍රකට බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ගොඩ නැගීමට මුල්වූ, ලොව පුර විවිධ ජනකණ්ඩායම් වලින් එකතුකරගත් භාණ්ඩ 71,000ක් පරිත්‍යාග කරමින් අනුග්‍රහය දැක්වූ, Hans Sloane ගේ ප්‍රතිමාව ඉවත්කලා. ඒ ඔහුගේ වහල් වෙළදාම සහ ජන ඝාතක අපකීර්තිමත් ඉතිහාසය නිසා.

ඒවගේම එංගලන්තයේ ජාතික භාරකාර අරමුදලට (National Trust) අයත් දැන් මහජන ප්‍රදර්ශනයට තබා ඇති ඉහත කී විවිධ ප්‍රභූන්ගේ මාලිගා සහ ඔවුන්ගේ බඩු බාහිර ආදිය ප්‍රදර්ශනය කිරීමේදී එහි ඇත්ත ඉතිහාසය ප්‍රදර්ශනය කල යුතුය යන  ‘Black lives matters’ උද්ගෝෂණ ව්‍යාපාරයේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා දැන් මෙරට ජනයා National Trust හී සමාජිකත්වයන් අත්හැරීමට මෙන්ම ඔවුන් මහජනයාට විවෘත කර ඇති ප්‍රදර්ශන ස්ථාන වර්ජනය කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මේ ආකාරයට George Floydගේ මරණයත් සමග පෙරට පැමිණි ‘Black lives matters’ උද්ගෝෂණ ව්‍යාපාරය නිසා ඉතිහාසයේ අශිෂ්ටත්වය, එහි සැහැසිකම් සහ ඒවායින් තරවුවන්ගේ ඊනියා ප්‍රභූත්වයේ සළුපට උනා දමන තත්වයකට ගමන් කරමින් සිටිනවා.

මම නම් මෙවැනි ක්‍රියාදාමයන් තේරුම් ගන්නේ සුබවාදී සමාජ ප්‍රගමනයකට හේතුවෙන ප්‍රගතිශීලී ක්‍රියාකාරීත්වයන් ලෙසයි. කිසියම් සමාජයක් එම සමාජයේ අපරාධ ගැන පශ්චත්තාප වෙන්නේ නැති නම්, එම අපරාද තුලින් ප්‍රභූත්වයට සහ වීරත්වයට පත්වූවන් හෙළිකරගන්නේ නැතිනම් එම සමාජය තව තවත් සහසිකත්වයට පත්වෙනවා මිසක් යහපත් සමාජයක් බවට වෙන්නේ නැහැ…ඒ නිසා George Floyd ගේ මරණයත් එක්ක පෙරට පැමිණි ‘Black lives matters’ උද්ගෝෂණ ව්‍යාපාරය ඔස්සේ වර්ගවාදයට පමණක් නෙමේ මිනිස් ඉතිහාසයක සහසිකත්වයට එරෙහිව නැගී සිටීමට හැකි තත්වයක් මතුකරමින් තිබෙන බව කිව හැකියි…

මාකස් ප්‍රියන්ත පෙරේරා (FB)

Social Sharing
නවතම විදෙස්