තවත් ජනවාරියක් අවසන්!

කළු ජනවාරිය නැවතත් සුපුරුදු පරිදි අවසන් වී තිබේ. ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණදුන් පීඩාවන් පිළිබඳ සංකේතයකි කළු ජනවාරිය. එම නිසා සුපුරුදු පරිදි මාධ්‍ය සංවිධානත් වෙනත් පුරවැසි සංවිධානත් ජනවාරි මස තුළදී මාධ්‍ය නිදහස උල්ලංඝනයන්ට එරෙහිවද, පීඩාවට පත් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන්ද විවිධ ක්‍රියාකාරකම් හි නියැලෙයි. මෙවරද අඩු වැඩි වශයෙන් එවන් ක්‍රියාකාරකම් පැවතුණි.

මෙම ක්‍රියාකාරකම් කිසිදු ආණ්ඩුවට වගේ වගක් නැතිව පෙර පරිදිම අවසන් වී තිබේ. කළු ජනවාරිය සැමරීම ආරම්භ වී වසර 11ක් ගත වී ඇත. 1980 දශකයේ සිටම මෙරට මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් මුදා හළ අවස්ථාවන් අප්‍රමාණ වුවත් ඒවා කිසිවකට යුක්තිය ඉටු නොවීම මෙරට මාධ්‍යවේදීන්ට අත් වී ඇති ඉරණම පමණක් නොව නීතියේ පාලනය පිළිබඳවත් නිවැරදි චිත්‍රයක් ලෝකයටම ලබා දෙයි. උදේ සිට රෑ වෙන තුරු පිරිත් කියන බෞද්ධකම් කර උඩ තබා ගෙන යන, තමන්ව බලයට ගෙන ආවේ බුද්ධ චීවරය යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කල ජනාධිපතිවරයකුද සිටින බෞද්ධ යැයි කියන රටේ වින්දිතයන්ට අත් වී ඇති ඉරණම ඒ ආකාරය. මාධ්‍යවේදීන්ට පමණක් නොව රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් ලංකාවේ බොහෝ වින්දිතයන්ට අත් වී ඇති ඉරණම ඒ ආකාරමය.

1980 දශකයේ සිට 1990 දශකයේ මුල් භාගය දක්වාත් වර්ෂ 2005 සිට 2014 දක්වාත් ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව වැඩි වශයෙන්ම ප්‍රචණ්ඩත්වයන් මුදා හල වකවානු ලෙස සැලකිය හැක. මෙම කාලවකවානු දෙක අතර පැහැදිලි වෙනසක් දැකිය හැක. ඒ 2005න් පසු පීඩාවට ලක් කරන මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එරෙහිව ජනමාධ්‍ය මගින්ම ආණ්ඩුවේ උවමනාව මත එල්ල කරන අසත්‍ය චෝදනා රැල්ලකින් මාධ්‍යවේදියාව යටපත් කිරීම හා ඝාතනය සාධාරණීකරනය කිරීමයි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙහි හොඳම උදාහරණයයි. සිය ස්වාමියා අතුරුදහන් කිරීමට එරෙහිව ඇය අදටත් ගෙන යන අඛණ්ඩ අරගලයට එරෙහිව බෞද්ධ භික්ෂූන්ද යොදා ගනිමින් ඇයට එරෙහිව අපහාස යුද්ධයක් ආරම්භ කර තිබුණි. ප්‍රචන්ඩත්වයට ලක් වූ මාධ්‍යවේදීන් එක්වරක් නොව නැවත නැවතත් පීඩාවට ලක් කර තම පාචඩ ක්‍රියා සාධාරණීකරණය කිරීම මේ අපහාස යුද්ධයේ අරමුණ වී තිබිණි.

2015 ආණ්ඩු පෙරළිය

පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීමේ පොරොන්දුවද හිස මත තබා ගෙන බලයට පැමිණි මෛත්‍රී – රනිල් ආණ්ඩුවටද ඒ පොරොන්දුව අමතක කිරීමට වැඩි කලක් ගතවුනේ නැත. අභ්‍යන්තර දේශපාලන බල සූදූව හේතු කොට ගෙන මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම අමතක කරන ලදී. කෙසේ වෙතත් යම් මාධ්‍ය නිදහසට බාධා නොකිරීම පිළිබඳ සහතිකයක් ඔවුන්ට දිය හැක. අවසානයේ 2015 සිට 2019 අවසානය දක්වාම ජනවාරියන් ගණනාවක් යුක්තියක් නොමැතිව පසු විය. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ සුවිශේෂී පරීක්ෂණ ගණනාවක් ආරම්භ කර තිබුණි. එම පරීක්ෂණයන්ට නායකත්වය දුන් ලංකාවේ සුපිරිතම රහස් පරීක්ෂකයකු ලෙස සැලකෙන සී අයි ඩියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේය. මෙම පරීක්ෂණ මෙහෙය වූ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා දැන් සිටින්නේ විදේශ ගත වීය.

අලුත්ම කොමිෂන් සභා

ජනාධිපතිවරයා විසින් අපූරු කොමිෂන් සභාවක් ඔහුට හිමි බලය ප්‍රකාරව වර්ෂ 2020ක්වූ ජනවාරි 09 දින පත් කලේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන්ය. මේ කොමිෂන් සභාවට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ බලය පැවරුණි. ඒ අනුව මෙම කොමිසම මගින් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ ඇතුළු අධීකරණය හමුවේ පැවැති නඩු කටයුතු පිළිබඳවද විමර්ශනය කෙරුණි. දැන් එම කොමිසමේ නිර්දේශ අනුව මෙම අපරාධයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වූ පැමිණිලි කල සියළුම අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය. අධිකරණයක් හමුවේ නඩු පවරා ඇත්නම් සාධාරණ සැකයෙන් ඔබ්බට එය ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වුවහොත් චූදියන්ට නිදහස ලැබේ. දැන් මේ සුවිශේෂි අපරාධ කිහිපයක් සම්බන්ධව අලුත් තත්වයක් නිර්මාණය කර ඇත. ඒ නඩුව අවසාන වීමට පෙර නඩුව නැවැත්වීමත්, නඩුවේ පැමිණිලිකරුවන්ට හා විමර්ශකයන්ට දඩුවම් කිරීමත්ය. විනය ගරුක රට බිහිවන්නේ මෙහෙමය.

මෙතැනින් නොනැවතී පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉහත කී උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ සභාපතික්වයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ. මේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට භාවිතා කල බර අවියයි. මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු වන්නේ ඒ ආකාරයටය. අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ හා ඝාතනය වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ නඩු කටයුතු සඳහා මේ ආකාරයට කටයුතු කිරීම කණස්සල්ලට හේතුවක් බව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ දක්වා ඇත.

මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ අපරාධ නඩු විභාගයන් ඇතුළු තවත් සුවිශේෂී අපාරාධ නඩු විභාගයන් සම්බන්ධව ඉහත කී කොමිෂන් සභාව මැදිහක් වීම මානව හිමිකම් උල්ලංඝනයක අවස්ථාවක් ලෙස කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන්. එමෙන්ම අයි සී සී පී ආර් මනත යොදා ගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම පිළිබඳවද එම වාර්තාවේ සඳහන් කරන අතර රම්සි රසීක් නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එහි විශේෂයෙන් සඳහන් කර තිබේ. ජනීවා වන්නම නැවතත් නටන්නට මේ වන විට ආණ්ඩුව නැවතත් උත්සහ කරන බව පෙනී යන අතර ශ්‍රී ලංකාවේ ජනතාව ඉදිරියේ නටන බොරුකාර වන්නමකින් ජාත්‍යන්තර ප්‍රජාවගේ ඇස් නිලංකාර කල නොහැකි බව ආණ්ඩුව වටහා ගත යුතුය.

බුද්ධි අංශයට සොයා ගත නොහැකි අපරාධ

පසුගිය වසර ගණනාවේම සාකච්ඡා වුනු කරුණක් වන්නේ මෙරට බුද්ධි අංශය අකර්මන්‍ය කර ඇති බවයි. එයින් නොකියා කිව්වේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටින සමයේ පැවැති බුද්ධි අංශය සුවිශේෂි සුපිරි බුද්ධි අංශයක් බවයි. නමුත් මේ සුපිරි බුද්ධි අංශයට සුපිරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහදවාලේ කෙරුනු මාධ්‍යවේදීන්ට වුනු අපරාධවලට වගකිව යුතු අපරාධකරුවන් සොයා ගත නොහැකි හැටි. මෙරට ජනතා මුදලින් නඩත්තුවන බුද්ධී අංශ කිසිවකට අදටත් මෙරට සිදු වූ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධයන්ට වගකිවයුත්තන් සොයා ගත නොහැකි වී ඇත. ඒ ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන ආයතනයන් ජනතාවට සලකන හැටිය. ස්වාධීන පරීක්ෂකයන් රිමාන්ඩ් ගත වෙද්දී, පරීක්ෂණ සිදු කල නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්නැයි ජනාධීපති කොමිෂන් නිර්දේශ කරද්දී එක් අතකට තමන් බිලි වන්නේ කුමකට දැයි එම නිලධාරීන්ට දැන් දැන් වැඩියෙන් දැනෙනු ඇත.

විශේෂයෙන් ඉහත කී උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශත් අලුත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණත් මාධ්‍යවේදීන් ඇතුළු මෙරට රාජ්‍යමය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට යුක්තිය ඉටු කිරීමේ ඉදිරි පියවරයන් පිළිබඳ තීරණය කරනු ඇත. එ් තිරණය මත මෙරට නීතියේ පාලනය පිළිබඳ විශ්වාසය පුරවැසියන්ට මෙන්ම ලෝක ප්‍රජාවටත් දැනෙනු ඇත.

මේ සියළු කරුණු මත ලංකාව වර්ෂ 2020 මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ රටවල් 178ක් අතුරින් 127 වන ස්ථානයට අභිමානයෙන් පත්ව ඇත. සිම්බාබ්වේ, පිලිපීනය, මධ්‍ය අප්‍රිකානු රටවල් ආසන්නයේ අප මේ වන විට පසුවෙයි. රටක වින්දිත ප්‍රජාවකට යුක්තිය ඉටු නොකොට රාජ්‍යයකට ඉදිරියට යා නොහැකි බව ආණ්ඩුව මෙන්ම විවිධ න්‍යාය පත්‍රයන් මත ක්‍රියාත්මක වන මෙරට ජනමාධ්‍ය වලින් දෑස් නිලංකාර කරගෙන සිටින අතාර්කික පුරවැසියන්ද දැන ගත යුතුය.

නීතිඥ දුලාන් දසනායක

Social Sharing
නවතම