“වසන්ත කරන්නාගොඩගේ පෙත්සමේ කරුණු තවදුරටත් අධ්‍යයනය කරනවා” – නීතිපති

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (4) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මේ බව අධිකරණය දැනුම් දුන්නේය.

තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔප් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මේ බව කියා සිටියාය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මේ පෙත්සම කැඳවිණි.

එහීදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කළ කරුණු දැක්වීම සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු නාවික හමුදාපති ගොනු කළ රිට් පෙත්සමේ වැඩිදුර විභාගය මැයි 17 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ පැවත්වෙන එම නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් ඉල්ලා හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබිණි.

මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පැවත්වෙන අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් වසරේ ජුනි 25 වැනිදා අතුරු  නියෝගයක් නිකුත් කළේය.

එම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

උපුටා ගැනීම – ලංකාදීප

Social Sharing
නවතම