බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශන වාර්තාව ප්‍රමාදයි!

මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ වහාම විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබුණේ පහුගිය 27 දාය.

ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙය කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දුන් අතර එහි අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වෙත  පවරන ලදි.

නමුත් එය ඔවුන්ට පවරන විටත් එහි නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බව නීතිපතිවරයා වෙත සැල වී ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් යළිත් වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත්තේ වහාම මෙම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉවත් කර වෙනත් කොට්ඨාශයකට පවරන ලෙසය. නැතහොත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හරහා කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවට සැක පළ කරනු ලැබුණි.

ඒ අනුව එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබීය. නමුත් සති දෙකක් ඉක්ම ගියද වැඩ බලන පොලිස්පතිවරයා විසින් මිනුවන්ගොඩ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාවය පිලිබඳ විමර්ශනයේ වාර්තාවක් නීතිපතිවරයා වෙත ලබා දී තිබුණේ නැත.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා යළිදු වරක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඊයේ (18) දින විමසා ඇති අතර ඒ අදාල පරීක්ෂණ කරන නිලධාරීන් කණ්ඩායම නීතිපතිවරයා වෙත කැඳවා තිබේ. එහිදී නීතිපතිවරයා විසින් එම අපරාධ පරීක්ෂණ කණ්ඩායමට උපදෙස් රාශියක් ලබා දී ඇති බව පැවසේ.

-ශානිකා-

Social Sharing
නවතම