හැමදාම පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන් කවුද?

ජනතා නියෝජිතයන් දාහතර දෙනකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් වාර්තා කරද්දී , කතානායකවරයාද ඒ අතරට ඇතුලත්ව සිටී.

දෙමළ ජනතා නියෝජිතයන් කිසිවකුත් එයට ඇතුලත් නොවන අතර විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයකු ඒ අතර වේ.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙන   2020 වසරේ අගෝස්තු මස සිට 2021 මාර්තු දක්වා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිමේ දත්ත ඇසුරින්  Manthri.lk වෙබ් අඩවිය විසින් එම තොරතුරු අනාවරණය කර තිබේ.

එම අනාවරණයට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියයට සීයක පැමිණිමක් සටහන් කර තිබෙන ජනතා නියෝජිතයන් දාහතර දෙනා අතරින් වැඩි දෙනකු අයත්වන්නේ ආණ්ඩු පක්ෂයටය.

එයින් පස් දෙනෙකු සමගි ජන බලවේගය නියෝජනය කරන ජනතා නියෝජිතයන් වන අතර ඉතිරි නම දෙනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරති.  ඒ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්ද වෙති.

Manthri.lk වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි, ගයන්ත කරුණාතිලක, හේෂා විතානගේ, ලක්ෂ්මන් කිරිඇල්ල, සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරු පස් දෙනා 2020 වසරේ අගෝස්තු මස සිට 2021 මාර්තු දක්වා වු සෑම පාර්ලිමේන්තු සභා වාරයකටම සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගයාෂාන් නවනන්ද, ජගත් කුමාර, මධුර විතානගේ, මහින්ද යාපා අබේවර්ධන, සාගර කාරියවසම්, ශාන්ත බණ්ඩාර, සුදත් මංජුල, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ යදාමිණි ගුණවර්ධන යන ජනතා නියෝජිතයන්ද එම වාර්තාවට හිමිකම් කියති.

50% ට අඩු මන්ත්‍රීවරු

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙන 2020 අගෝස්තු සිට 2021 මාර්තු දක්වා පැවැති සභාවාර 63 ක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණිමේ දත්ත ඇසුරින්  Manthri.lk වෙබ් අඩවිය අනාවරණය කර ඇති පරිදි පාර්ලිමේන්තු පැමිණිම සියයට පනහට අඩු මන්ත්‍රීවරු  ගණන 11 කි. ඒ අතර හත් දෙනෙක්  දෙමළ ජනතා නියෝජිතයෝ වෙති. සෙසු පිරිස සිංහල  ජනතා නියෝජිතයන්ය. මුස්ලිම් ජාතික ජනතා නියෝජිතයන් කිසිවකුත් එයට ඇතුලත්ව නැත.

රාජවරෝදයම් සම්පන්දන් මන්ත්‍රීවරයා සියයට විස්සක පාර්ලිමේන්තු  පැමිණිමක් වාර්තා කරන අතර විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු පැමිණිම ප්‍රතිශතයක් ලෙස සියයට තිහකි.

ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා 36% ක්, පලනි දිගම්බරන් මන්ත්‍රීවරයා 38%, ටිරාන් අලස් මන්ත්‍රීවරයා 44%, සු. නෝගරාදලිංගම් මන්ත්‍රීවරයා 46%, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා 46%, දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා 48%ක්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා 48%, සී.වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා 49% ක් හා ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා 49 % ක් වශයෙන් පාර්ලිමේන්තු පැමිණිමේ ප්‍රතිශතයක් පෙන්නුම් කරති.

පාර්ලිමේන්තු පැමිණිම සියයට පනහට අඩු ප්‍රතිශතයක් ගන්නා සිංහල ජනතා නියෝජිතයන් සියලු දෙනා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අය වෙති.

Attendance of Members of Parliament Manthri.lk Research Team

Attendance of Members of Parliament Manthri.lk Research Team

 

Social Sharing
නවතම