තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු ඒ තරමට රටේ ජනප්‍රිය තරුවක් විය.

ජනප්‍රිය තරුවක් ලෙස නොව පාගා විසිකළ රූකඩයක් සේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් තුරන් කිරිමට මේ රටේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ක්‍රියා කළද අවසානයේ ඔහුගේ දහම් ගැටය එරික් පෙරේරාගේ වාසනාව ගෙන ආවේය.

ශ්‍රී ලංකා පොලීසියේ කොන්ද පණ ඇති නිලධාරියෙකු තවමත් සිටින බව මේ වන විට සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඔප්පු කර හමාරය.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මේ වන විට එරික් පෙරේරා සමඟ පසුවන්නේ දැඩි ආරෝවෙන්ය. ඒ රාජ්‍ය ඇමතිවරයාගේ ගෝලයින් විසින් සිදු කරගෙන යන ලද කසිප්පු ජාවාරම වැටලීම නිසාය.  කලින් මේ පිලිබඳ රාජ්‍ය ඇමතිවරයා සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට පවසන්නේ මහා පරිමාණ ජාවාරම්කරුවන් ඇල්ලුවත් කුඩා ප්‍රමාණයෙන් කරගෙන යන අයට අවස්ථාවක් ලබා දෙන ලෙසය.

නමුත් එය සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රතික්ෂේප කරන්නේ සෘජු ප්‍රකාශයකිනි.ගැටුම ඇරඹෙන්නේ එතනින්ය. එරික් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයෙකුට යටත් නොවු ප්‍රථම අවස්ථාව මෙය නොවේය. ඔහුගේ රාජකාරී ඉතිහාසය තුල ඔහු අනේක මැති ඇමතිවරුන් සමඟ හැප්පී ඇත.

කවුද මේ එරික්

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන මොහු පොලිස් විශේෂ කාර්ය බලකායේ  ආධුනික උප පොලිස් පරික්ෂකවරයෙකු  ලෙස එක් වන්නේ 1994 වසරේදීය.

ඉන්පසු කටුකුරුන්ද පුහුණු පාසලේ වන සටන් පිලිබඳ 27 වන මූලික පාඨමාලාව හදාරා නැගෙනහිර පළාතේ විශේෂ කාර්ය බලකා කඳවුරු වල සේවයට ගොස් ඇත. එහිදී කංචන කුඩා කැලේ මෙහෙයුම් කිහිපයකටද එක් වී ඇති මොහු කංචරන්කුඩා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙස පත් වේ. ඒ වන විට රටේ LTTE ය සමඟ සටන් විරාම ගිවිසුමක් තිබුණද ඔවුන් එය උල්ලංඝනය කරමින් මෙම කඳවුර අත්පත් කර ගැනීම‌ට පැමිණි අවස්ථාවේ මොහු අබීත නායකයෙකු ලෙස ක්‍රියා කරමින් සිය සෙබල පිරිසත් ගම්මානයේ පිරිසත් බේරා ගනියි. ඒ 2002 වසරේදී පමණය.

පසුව ඔහු පසුපස LTTE සංවිධානය පසුපස හඹා ඒමත් සමඟ මොහු විදේශීය පාඨමාලා කිහිපයක් වෙනුවෙන් විදෙස් ගත වේ. එහිදී ඔහු බුද්ධි අංශ, බෝම්බ නිෂ්ක්‍රිය කිරිම්, අවි ආයුධ ආදී පුහුණු පාඨමාලා රැසකින් පසුව 2004 වසරේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක් වන්නේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙසිනි.

ඔහුගේ පළමු පත්වීම ලැබෙන්නේ කටුනායක ගුවන්‌තොටුපළ පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙසය. එහිදී ඔහුට ගුවන්තොටුපලේ සිදු වු ජාවාරම් රැසක් මැඩ පැවැත්වීමට හැකි විය. විශේෂයෙන් විදෙස්ගතව සිට එන ශ්‍රමිකයින් ගුවන්තොටුපලේදි විවිධ පුද්ගලයින්ගේ ගොදුරු බවට පත් වීම මෙහිදි වැලකුණි.

පසුව විවිධ ස්ථාන කිහිපයක ස්ථානාධිපතිධුර දැරූ අතර මොහු  මීරිගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සිටින සමයේ නීති විරෝධි පස් වැලි ජාවාරමකට එරෙහිව සටන් වදින්නේ එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි සරණ ගුණවර්ධන සමඟිනි.  එහිදීද ප්‍රධාන පොලිස් පරික්ෂක එරික් පෙරේරා ව පගාවට ගැනීමට සරණට නොහැකි විය.

ඉන් අනතුරුව ඔහුව මාරු කෙරෙන්නේ වත්තල පොලිසියටය. ප්‍රදේශයේ ජාවාරම් රැසක් මඩලමින් කටයුතු කළ ඔහු 2018 වසරේදි ගැටෙන්නේ එවකට අමාත්‍යවරයෙකුව සිටි ජෝන් අමරතුංග සමගිනි. ඒ වත්තල ඇවිදින මං තීරුව රැක ගැනීමටය. විවිධ අඩත්තේටම් මැද ඔහු වත්තල රාජකාරි කරමින් සිටියදි සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් වීම් ලැබුවේය. එහිදි ඔහුට පැවරි තිබුණේ  වෙන්නප්පුව කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙසින් ප්‍රදේශයේ අපරාධ මැඩලීමය.

විශාල වධකාගාරයක තොරතුරු මොහු 2019 අනාවරණය කර ගන්නේ කිසිවෙකුත් අත නොගැසු නිසාය. මෙහිදි ශානුක මදුෂාන් හෙවත් ඕලු මරා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා අත්අඩංගුවට ගත්තේය.

දිගු කලක් තිස්සේ පොලිසියටද හයිය පෙන්වමින් වෙන්නප්පුව සිරිගම්පළ ප්‍රදේශයේ යේ  කුඩු ජාවාරමේ නිරතවන ඕලු මරා අත්අඩංගුවට ගැනෙන්නේ වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සිදු කළ විශේෂ මෙහෙයුමකදී. ඒ හෙරෝයින් ග්‍රෑම් 12ක් ද සමඟින්.

24 හැවිරිදි මොහු මනුෂ්‍ය ඝාතනයකට ද වරදකරුව සිරගත වූ අයෙකු වන අතර ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමද දිගු කළක් තිස්සේ සිදු කර තිබේ.

ඉන් අනතුරුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා අත ගසන්නේ ප්‍රදේශයේ නිතී විරෝධි කසිප්පු / මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමටය. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හා ගැටෙන්නේ එහිදීය.

ඒ රාජ්‍ය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම නිසාය.  නමුත් ඉන් පසුබට නොවන ඔහු දිගටම සිය මෙහෙයුම් සිදු කරද්දි අරුන්දිකගේ ඉල්ලීමට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබෙන්නේ වෙන්නප්පුවේ ඒකකයද විසුරුවා හරිමිනි. ඒ මාර්තු 20 දාය. එදා සිට අද දක්වා ඔහු දේශපාලඥයින්ගේ බලපෑම් මත විවිධ ස්ථාන වලට මාරු කෙරෙන්නේය.

ඇතැම් මැති ඇමතිවරුන්ද දැන් පවසන්නේ ඔහු ස්ව කැමැත්තෙන් මාරු වී ගිය බවය.

නමුත් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඉන් සැලුනේ නැත. ඔහු දැන් පෙරටත් වඩා ශක්තිමත්ව ඇත. රටේ දුෂිත යැයි පවසන පොලිස් දෙපාර්තමේන්තුවට කොන්ද ඇති නියම මහත්මයෙක් ඇති බව මේ වන විට ඔහු රටට හෙළි කර අවසන්ය.

විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වීමට දඟලන, මැති ඇමතිවරු පස්සේ උසස් වීම් ඉල්ලාගෙන යන පොලිස් නිලධාරීන්ට මොහු මනා ආදර්ශයකි. රටක පොලිස්පති විය යුත්තේ මෙවන් නිර්භීත පුද්ගලයින්ය.

-ශානි-

Social Sharing
නවතම විශේෂාංග