දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ජනාධිපතිට සර්වාගමික ආයාචනයක්!

රට පුරා බන්ධනාගාර රැසක දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් උතුරේ සර්ව ආගමික නායකයන් පිරිසක් ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත්  කර තිබේ.

උතුර නියෝජනය කරන බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් හය දෙනකුගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත යොමු කළ අභියාචනය මගින් ඔවුන් හෘදයාංගමව  ඉල්ලා ඇත්තේ සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන ලෙසයි.

දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන්ගේ මානසික තත්වය ආගමික නායකයන්ගේ හදවත් කම්පනයට පත් කර ඇති ආකාරයත් එමගින් දන්වා තිබේ.

“දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් සහ ඥාතීන් අප වෙත පැමිණ කදුළු සලමින් කෙසේ හෝ ඔවුන්ව නිදහස් කර දෙන්නැයි අයැද සිටිති. ඔවුන්ගේ කදුළුත්, බිදී ගිය මානසික තත්වයත් අප හදවත් කම්පනයට පත් කළේය.”

දේශපාලන සිරකරුවන්ගෙන් ඇතැමෙක් නඩු නොඇසීම හේතුවෙන් වසර 8 – 10 පමණ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින බව පෙන්වා දෙන සර්ව ආගමික නායකයන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඇතැම් දරුවන් ළදරුවියේ සිටියදීම ඔවුන්ගේ දෙමාපියන්  ඔවුන්ගෙන් දුරස් වී සිර මැදිරි තුළ ගත කරන බවයි.

මේ නිසා සිය පවුල් නඩත්තු කිරීමට ඔවුන්ට කිසිදු මාර්ගයක් නොමැති බවත් එහි වැඩි දුරටත් සදහන්ය.

මේ වන විට රටේ පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බන්ධනාගාර පොකුර 4000 ඉක්මවා තිබෙන අතර දේශපාලන සිරකරුවන්ද 16 දෙනකු ඒ අතර වන  බැවින් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් දැඩි කම්පනයට හා දැඩි සිත්තැවුලට පත්ව ඇති ආකාරයත් ආගමික නායකයන් අවධාරණය කර තිබේ.

“රටේ පුරවැසියන්ගෙන් කොටසක් නියෝජනය කරන ඔවුහු සංඛ්‍යාත්මකව කුඩා  වුවත්  ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති දුක්ඛිත තත්වයත්, මානසික පීඩනයත් ගැන සිතන විට සෙසු ජනතාවටද ඒ පිළිබදව අවධානය යොමු නොකර සිටිය නොහැක.”

දීර්ඝකාලීන සිර දඩුවම්, ජීවිතාන්තය දක්වා සිර දඩුවම්, මරණ දඩුවම් ලැබ  සිටින සිරකරුවන්ට පවා නිදහස හිමිවන අයුරු අසන්නට දකින්නට ලැබුනත් දේශපාලන සිරකරුවන්ට එවන් වාසනාවක් කිසිදු අයුරකින් උදා නොවන බව සිතෙන විට ආගමික නායකයන්ට දැඩි වේදනාවක් අති වන බවත් එම අභියාචනයේ සටහන් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත යොමු කළ අභියාචනය මගින් ආගමික නායකයන් වැඩි දුරටත්  දැනුම් දී ඇත්තේ මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කළහොත් ඔවුන්ගෙන් සමාජයට කිසිදු අයුරකින් හානියක් සිදු නොවන වග විශ්වාස කරන බවයි.

තමන්ටද මහා සමාජයේ ගමන් මගට එළඹීමට අවස්ථාව හිමිවීම පිළිබදව ඔවුනුත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝත් කෘතවේදී වෙනු ඇති බවට ආගමික නායකයෝ විශ්වාසය පළ කරති.

ඔවුන්ට පොදු සමාවක් ලබා දීම  රටේ ජාතික සංහිඳියාවටද උපකාර වන බව සර්ව ආගමික නායකයෝ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මීගහජඳුරේ ශ්‍රී විමල හිමි, යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි, නල්ලුර් බටහිර චාවකච්චේරිය ජාත්‍යන්තර හින්දු පුජක සංගමයේ සභාපති වෛද්‍ය ඩී. කේ. ජෙගතීස්වර පූජක තුමා, යාපනය මීසම භාර පී ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා, කිලිනොච්චි සහ යාපනයේ සමස්ත ලංකා ජමියතුල් උලමා ශාඛාවේ සභාපති එම්.එන්.එම් ඉර්ෆාන් සහ යාපනය කතෝලික සභාවේ යුක්තිය සහ සාමය සදහා වන කොමිසමේ සභාපති ‌එස්.වී.බී මංගලරාජ්  පියතුමා මෙම අභියාචනයට අත්සන් තබා තිබේ.

ආණ්ඩුවේ පරස්පරය

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ දේශපාලන සිරකරුවන් සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩු පක්ෂය තුලම පරස්පර අදහස් මතු වෙමින් තිබේ.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දේශපාලන චෝදනා මත සිර දඩුවම් ලැබු සිරකරුවන් කිසිවකුත් මේ වන විට ශ්‍රී ලංකා බන්ධනාගාර ආයතනයෙහි රඳවා නොමැති බව ජනවාරි 7 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේ පවසද්දී, ආණ්ඩුව නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේන් රාඝවන් පවසා තිබුනේ “තාක්ෂණික වශයෙන්” ප්‍රතික්ෂේප කෙරුණත් ලංකාවේ දේශපාලන සිරකරුවන් සිටින බවයි.

“නමුත් අපි දන්නවා යතාර්ථය හැටියට දේශපාලන කටයුතු වලට සම්බන්ධ සිංහල, දෙමළ මුස්ලිම් යන ජාතින් තුනේම සිරකරුවන් තවමත් ඉන්න බව” මන්ත්‍රීවරයා පවසා තිබුනි.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කවරේදැයි මන්ත්‍රීවරයා විමසු කළ අධිකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිපත්තිමය තිරණයක් ගත යුතු බවයි.

අධිකරණ ඇමැතිවරයාට අනුව 2020 වසරේ ඔක්තෝබර් 31 දින වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිර දඩුවම් ලබා සිටින සියලු  දෙනා දෙමළ ජාතිකයන් වේ.

ඒ අතර මරණීය දණ්ඩණය නියමු වූ සිරකරුවෙකු, ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමු වූ දෙදෙනෙකු, සාමාන්‍ය සිර දඩුවම් නියම වු තිදෙනෙකු, මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසු අභියාචනා කළ එක් අයෙකු, ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමෙන් පසු අභියාචනා කළ හත් දෙනෙකු, සාමාන්‍ය සිර දඩුවම් නියම කිරීමෙන් පසු අභියාචනා කළ තිදෙනෙකු ද වේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සහ LTTE ක්‍රියාකාරකම් යටතේ චෝදනා ලබා හෝ සිරගත කර හෝ සැක බාල වයස්කාර දරුවන් කිසිවකුත් මේ වන විට ශ්‍රී ලංකා බන්ධනාගාර ආයතනය තුළ රඳවා නොමැති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි 2021  ජනවාරි 7 දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබුනි.

ඡායාරූප පහතින්

Appeals to President to release political prisoners

Appeals to President to release political prisoners

Appeals to President to release political prisoners

Appeals to President to release political prisoners

Appeals to President to release political prisoners

Appeals to President to release political prisoners

Social Sharing
නවතම