ගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර

ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා යළිත් IOC සමාගමට ඒකාබද්ධ ව්‍යාපෘතියකට කැස කවමින් සිටිනවා යැයිද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම යාපනය ඩෙල්ෆ්, නයිනතිව් හා අනලතිව් යන දුපත් තුන සුළං බලාගාර ඇති කිරිම සඳහා චීන සමාගමකට පවරා දෙන්න කටයුතු කරමින් සිටින බවද කොළඹ නගරයේ වාණිජ වටිනාකමින් යුත් විශාල ඉඩම් ප්‍රමාණයක් හඳුනාගෙන විදේශ සමාගම් වෙත පවරා දීම සඳහා කැස කවමින් සිටින බවද පවසන අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ පහුගියදා කැබිනට් පත්‍රිකාවක් මඟින් වේගවත් මාර්ගයකින්  ආයෝජන කැඳවීමට අනුමැතිය ඉල්ලා ඇති අතර එහිදී මහ බැංකුවෙන්, මධ්‍යම  පරිසර අධිකාරියෙන්, නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ගත නොගත යුතු බවත් අවසර ගත යුත්තේ කමිටුවකින් පමණක් බවය.

රටේ සම්පත් බහුජාතික සමාගම් වෙත පැවරීම සඳහා එකම කමිටුවකින් අවසර ගෙන කටයුතු කරන්න තීරණය කර ඇතැයිද නමුත් මාස 15 කට පෙර කීවේ රටේ සම්පත් රකින නායකයෙක් බවත් නමුත් අද පාස් ට්‍රැක් එකේ රටේ සම්පත් විකුණන නායකයෙක් යැයිද ඔහු පවසයි.

මිරිහානේ ගෙදර දොරකඩ අඹ පැලයක් සිටුවා පැමිණි ඔහු අද පරිසර පද්ධතීන් විනාශ කරමින් සිටින බවද වංචාව, දුෂණය යළි පෙර මාවතේම ගමන් කරමින් සිටින බවද ටයිල් වංචාවේ සැකකරුට අනුමැතිය දුන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් බවත් සීනි බදු වංචාව පිටුපස සිටින්නේ ජනාධිපිතවරයා‌ගේ හිතවෙතෙකු වූ ෂ්‍රැංගිලා හෝටලයේ හිමිකරු බවද ඔහු චෝදනා කර සිටියි.

ඇන්ටිජන් ටෙස්ට් ගෙන්වන්නේ ජනාධිපතිවරයාගේ මිත්‍රයා වන අතර නිරෝධායන වන හෝටල් වල හිමිකරුවන් වන්නේත් ඔහුගේම අය බවත්, සැනටයිසර් නිෂ්පාදනයත් ඒ අතර තිබෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ පැවති කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහි විරෝධතා රැලියේදීය.

 

 

-ශානි-

Social Sharing
නවතම