මියන්මාර මාධ්‍යවේදීන්ගේ සටනට AMCA සහාය පළ කරයි.

මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන්  තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (Asian media and cultural association) පවසා සිටියි.

මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී.

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් මේ  බව සඳහන් කර ඇත.  මෙහි සභාපති උපුල් ජනක ජයසිංහ හා ලේකම් පැතුම් වික්‍රමරත්න යන මාධ්‍යවේදීන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.

සමාජ මාධ්‍ය පාලනයට මියන්මාර බලධාරීන් ගෙන ඇති පියවරද අතිශය පිළිකුලින් යුතුව හෙලා දකින බවත් භාෂණයේ නිදහස යනු  ප්‍රජාත්නත්‍රවාදයේ ප්‍රධානතම හා වැදගත්ම අංගයක් වන බවත් මෙම ලිපියේ සඳහන් කර ඇත.

මෙම ලිපියේ වැඩිදුරටත්  මෙසේද දැක්වේ.

ආසියාකරයේ මාධ්‍යවේදීන්ගේ අයිතීන් පිළිබඳව මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳවද කැපවී කටයුතු කරන මාධ්‍ය සංවිධානයක් ලෙස මියන්මාරයේ සිදුවෙමින් පවතින වත්මන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳව දැඩි ලෙස කනගාටුවනවා. එම තත්වය යලි නිවැරදි කිරීම සඳහා ජාත්‍යන්තරය යම් බලපෑමක් හා මැදිහත්වීමක් කල යුතු බව අපගේ අදහසයි. විශේෂයෙන්ම ලොව පුරා මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධාන මෙහිදී මූලිකත්වය ගත යුතුයි.

anti-democratic actions in myanmar

-ශානි-

Social Sharing
නවතම විදෙස්