අල්ලස් චෝදනා වලට මේ අවුරුද්දේ වැඩියෙන්ම අසුවී ඇත්තේ පොලීසිය

මේ වසරේ පළමු මාස අට තුලදී  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක්  පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ.

ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 31 දින දක්වා වැටලීම් සදහා පැමිණිලි හතලිස් හයක් ලැබුන අතර  එම කාලය තුළ සිදුකළ සාර්ථක අල්ලස් වැටලීම් 25 ක් මගින් සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් දෙනා අතරින් දස දෙනෙකුම පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ වෙති.

දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ සිවිල් පුද්ගලයන්ගෙනි. එම ගණන  හයකි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම් ඇතුලු තිදෙනෙක්ද එම කාල සීමාව තුලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලි ලැබීම්

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන ආකාරයට 2020 වසරේ ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 31 දින දක්වා කාලය තුලදී කොමිෂන් සභාව වෙත ලැබී ඇති මුළු පැමිණිලි ගණන 1425 කි.

ඒ අතරින් විමර්ශනය කිරීම සදහා තීරණය කළ පැමිණිලි හා වැටලීම් සදහා ලද පැමිණිලි ප්‍රමාණය 1066 ක් බව එම කොමිසම සදහන් කරයි.

ඒ අල්ලස් පැමිණිලි 237ක්, දුෂණ පැමිණිලි 748, අයුතු වත්කම් ඉපයීම් පිළිබද පැමිණිලි 35 ක් හා වැටලීම් පැමිණිලි 46 ක් වශයෙනි.

එමෙන්ම පැමිනිලි 301 ක් විමර්ශනය නොකිරීමට එම කාලය තුලදී කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අතරින් පැමිණිලි 156 ක් කොමිෂන් සභා පනතට අනුකුල නොවන බැවින් වැඩිදුර කටයුතු සදහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති අතර ඉතිරි පැමිණිලි 145 කොමිෂන් සභා පනතට අදාළ නොවීම, ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොතිබීම සහ අපැහැදිලි බව හේතුවෙන් ඉවත් කර තිබේ.

විමර්ශන කටයුතු

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩි දුරටත් පවසන්නේ මේ වසරේ මුල් මාස අට අවසන් වන විට කොමිෂන් සභාව විසින් නියෝග ලබා  දී මුලික විමර්ශන කටයුතු අවසන් කළ පැමිණිලි ගණන 623 ක් බවයි.

ඒ මුලික විමර්ශනයට පෙර අවසන් කළ පැමිණිලි 301 ක් හා මුලික විමර්ශනයට පසු අවසන් කළ පැමිණිලි 322 ක් වශයෙනි.

නඩු පැවරීම

මෙම කාලය තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණවල පවරා ඇති නඩු සංඛ්‍යාව 36 කි.

ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 05 ක් සහ මහාධිකරණයේ නඩු 31 ක් වශයෙනි.

2020 අගෝස්තු 31 දින වන විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 87ක්, මහාධිකරණයේ නඩු 189 ක් හා ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු 02 ක් විභාග වෙමින් පැවති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කරයි.

සබැඳියාව

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2020 ජනවාරි 01 සිට අගෝස්තු මස 31 දක්වා ප්‍රගතිය

Social Sharing
නවතම