ආදාහන ප්‍රතිපත්තිය අත්හිටුවීමට මුස්ලිම්වරුන් එක්සත් ජාතීන්ගේ පිහිට පතයි.

කොවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීම සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතල ලෙස හෙලා  දකිද්දී, ශ්‍රී ලංකා රජයේ එම බලහත්කාර ප්‍රතිපත්තිය අහෝසි කර ගැනීමට මුස්ලිම්වරුන්  එක්සත් ජාතීන්ගේ පිහිට පතා තිබේ.

ජනවාරි 26 අඟහරුවාදා දහවල් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශයක් බාර දෙමින් එම ඉල්ලීම කර ඇත්තේ  මුස්ලිම් වාමාංශික පෙරමුණ  විසිනි.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර්ට සන්දේශය බාර දුන් මුස්ලිම් වාමාංශික පෙරමුනේ ප්‍රධාන ලේකම් එම්.ආර්.එම් ෆයිසාල් පෙන්වා දී ඇත්තේ කොරෝනාබාධිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දී තිබුනත් ශ්‍රී ලංකාවේ රජය මුස්ලිම් ජනයාට එම අයිතිය අහුරා ඇති බවයි.

Against the burial policy Muslim Left Front united nations office in sri lanka

ඉස්ලාම් ධර්මානුකූලව මරණයක් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු සතර පිළිවෙතින් තුනක්ම කෝවිඩ් වසංගතය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් අත් හැර දැමූ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අනුගමනය කිරීමට ඉල්ලා සිටින එකම අයිතියත් රජය විසින් අහිමි කර ලීම ගැන මුස්ලිම් වාමාංශික පෙරමුණ කනස්සල්ල පල කර තිබුණි.

“මළ සිරුර සේදීම, රෙදිවලින් වේලීම සහ සාමුහික යාඥාව අතහරින්නට මුස්ලිම්වරුන් එකඟවී තිබේ. ඔවුන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ සියලු සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව ආරක්‍ෂිතව සිරුරු වල දැමීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පනවා ඇති කොන්දේසි අනුගමනය කරමින් භූමදානය කිරීම සඳහා රජයේ අවසරය පමණි,” යි එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය අමතා ලියූ ලිපියේ දැක්වේ.

කොවිඩ් වසංගතයෙන් මියයන සියල්ලන්ගේම මළ සිරුරු පිළිස්සීමේ ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ප්‍රතිපත්තිය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසින් දැඩි ලෙස හෙළා දකින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිව් පුද්ගල විශේෂඥ මණ්ඩලයක් දැඩි ස්වරයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි 25 සදුදා රජයට බල කර තිබුනේ කොවිඩ් රෝගාබාධිතව මියගිය අයගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවතා දමන ලෙස යි.

එය මුස්ලිම්වරුන්ගේ සහ රටේ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහිල්ලට හරස්ව යන බවත්, දැනටමත් පවත්නා අගතීන්, නොරුස්නා කම් සහ ප්‍රචණ්ඩතා තවත් පැසවන්නට මග පෑදිය හැකි බවටත් ඔවුහු එම නිවේදනය මගින් වැඩි දුරටත්  අනතුරු අඟවා තිබුනි.

කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට විරෝධය පාමින්  “බලහත්කාරයෙන් ආදාහනය නවතනු” මැයෙන් 2020 දෙසැම්බර් 31 බදාදා බොරැල්ල කනත්ත ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමටත් මුස්ලිම් වාමාංශික පෙරමුණේ  කටයුතු කර තිබුනි.

මළ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීම මේ වසර  ආරම්භයේදීම නතර කර  මුස්ලිම් ජනයාගේ සිතට සතුටක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස එම පෙරමුණ  ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කර තිබුනි.

එසේ නොවුනහොත් මුස්ලිම් ජනයාගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සදහා නව වසරේ දිනපතා සටන් කිරීමට සිදු වන බවට මුස්ලිම් වාමාංශික පෙරමුණ  ආණ්ඩුවට අනතුරු අගවා තිබුනි.

Social Sharing
නවතම